හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම ගැනීමට පෙර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ලබාදුන් සම්මුඛ සාකච්ඡාව පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී සුල්ෆික් ෆර්සාන් මහතා අද (25) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණ.

2021 මැයි මාසයේ හිටපු නීතිපතිවරයා ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශකර තිබුණේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් තිබූ බවයි.

මෙම ප්‍රකාශයට අදාළව කරුණු විමසීම සදහා දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවස්ථා තුනකදී කැඳවා තිබූ නමුත් ඔහුගෙන් ප්‍රකාශ ගැනීම හෝ අත්අඩංගුවට ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු නියෝගයක් නිකුත් කළේ ය.

ඒ හිටපු නීතිපතිවරයා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

තමන් නීතිපති ධුරයේ සිටින අවස්ථාවේ මේ ප්‍රකාශය සිදුකළේ, ඒ වනවිට තමන්ට ලැබී තිබූ ලිපි ලේඛන හා ලිපිගොනු මත පදනම්ව යැයි, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සිය පෙත්සමේ සඳහන් කර තිබිණ.

කෙසේවෙතත් හිටපු නීතිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු විමසීමට නිව්ස් ෆස්ට් මාධ්‍යවේදියාට කළ දැනුම්දීම අනුව ඔහු අද පෙරවරු 10 ට පමණ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශය ලබා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *