කොවිඩ් රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ මේ දිනවල දෛනිකව යම් කොවිඩ් රෝගීන් ගණනක් වාර්තා වී ඇති බවයි.

පසුගිය දින කිහිපය තුළ දෛනිකව කොවිඩ් රෝගීන් 05කට ආසන්න ගණනක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.

ඊට අමතරව කොවිඩ් ආසාදිත මරණ දෙකක් ද පසුගිය දින 03 තුළ සිදුව තිබෙනවා.

මේ දිනවල පවතින ශ්වසන රෝග තත්ත්වයක් සමඟ කොවිඩ් රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමුකළ යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

“පසුගිය දින කිහිපය තුළ දී කොවිඩ් රෝගීන් යම් ආකාරයක දෛනිකව වාර්තා වීමේ තත්ත්වයක් උද්ගතවෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය රෝහලෙන් වාර්තා වුණා. කොවිඩ් මරණයක් වාර්තා වුණා.

ඊයේ දිනයේ හා පෙරේදා දිනයේ කොවිඩ් රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වන සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. මේ තත්ත්වය අපි යම් ආකාරයක අවධානයට ගත යුතු තත්ත්වයක්.

විශේෂයෙන් මේ වෙනකොට යම් ආකාරයක රට පුරා ශ්වසන රෝගී තත්ත්වයේ වැඩිවීමක් අපි දකිනවා. මේ අතරේ කොවිඩ් රෝගීන් ඉන්නවා ද කියන කාරණය පිළිබඳ යම් නිරීක්ෂණයක් හා පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ මොහොතේ අවධානය යොමුකළ යුතුයි.”

කෙසේ වෙතත් එම අවධානම් කණ්ඩායම් කොවිඩ් මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතා වැදගත් බවද එම මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *