ලෝක ජනමාධ්‍ය නිදහස දිනය අදට (03) යෙදී තිබේ.

මෙවර ජනමාධ්‍ය නිදහස් දිනයේ තේමාව, ‘අයිතිවාසිකම්වල අනාගතය හැඩගැස්වීම අනෙකුත් සියලුම මානව හිමිකම් සඳහා ධාවකයක් ලෙස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස’ යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993 දී මාධ්‍ය නිදහස සැමරීමේ දිනය ප්‍ර‍කාශයට පත් කළ අතර මෙවර සමරනු ලබන්නේ, එහි 30 වැන්නයි.

1986 වසරේ දෙසැම්බර් 17 වැනි දා සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී අමානුෂික ලෙස ඝාතනයට ලක් වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගිලෙමො කානෝ අනුස්මරණය කිරීම වෙනුවෙන් මේ දිනය වෙන් කර ඇත.

එදිනෙ දා ජීවිතයේ ප්‍ර‍වෘත්ති මෙන්ම අසීරු අවස්ථා වාර්තා කරමින් ලොව පුරා විසිර සිටින ජනමාධ්‍යවේදීන් එදා මෙදා තුර මුහුණ දුන් අසීරුතම කාලය දැන් එළඹ ඇති බව ලෝක ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

දිවි පරදුවට තබා සිරියානු යුද්ධයේ සජීවි වාර්තාකරණයේ යෙදී සිටින ජනමාධ්‍යවේදින් මෙන්ම, ස්වාභාවික ආපදා වාර්තාකරණයේ නිරත බොහෝ වාර්තාකරුවන් මුහුණ දෙන්නේ අතිශය භයානක අනපේක්ෂිත අවස්ථාවලට බව නොරහසකි.

මාධ්‍ය නිදහස දිනකට හෝ තේමාවකට පමණක් සීමා කර, ප්‍රායෝගිකව මාධ්‍යවේදියාගේ තටු සිඳීමේ ක්‍රියාවලිය බොහෝ රටවල අනවරතයෙන් සිදුවන්නකි.

ඉකුත් දස වසර තුළ ලොව පුරා මාධ්‍යවේදීන් 929 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා අනුව පෙනී යයි.

මාධ්‍යවේදීන්ට අනතුරුදායකම රට ඉරාකයයි.

දෙවැන්න සිරියාවයි.

ශ්‍රී ලංකාව ද මෑත දශක ගණනාව තුළ ජනාමාධ්‍යයට එල්ල වූ බලපෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින රටකි.

මෑතකදී කරලියට පැමිණි ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතින් ජනමාධ්‍යයට ඇති නිදහස සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක් මතු කර තිබේ.

රටවල් 180ක් ඇසුරින් සැකසෙන ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ පළමු තැන පසුගිය වසරේදී හිමිවුයේ නොර්වේ රාජ්‍යයටයි.

2022 වසරේදී ශ්‍රී ලංකාවට හිමිවුයේ ලෝක නිදහස් ජනමාධ්‍ය දර්ශකයේ 146 වන ස්ථානයයි.

අව් වැසි, වෙඩ් ප්‍රහාර සහ බෝම්බ නොතකා තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදියා වෙනුවෙන් දින 364 ක් විසිවන ගල්මුල් වෙනුවට මල් පුදන එකම දිනය ලෙස වෙන් කර ඇත්තේ අද දිනයයි.

එහෙත්, එදිනදා නිමා වන්නේ ජනමාධ්‍යවේදියාගේ සුරක්ෂිතතාව පිළිබඳ ප්‍ර‍ශ්නාර්ථයක් ඉතිරි කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *