අභිරහස් ලෙස මියගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මුලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මේ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.

පසුගිය 06 වනදා පස්වරුවේ මෙම පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනෙක් සහ තරුණියක් සමඟ මෙම නවාතැන්පලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කරමින් නවාතැන් පොලෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී තාවකාලික නවාතැන් පොලට ඇතුළු වීම සඳහා පාසල් සිසුවිය විසින් වෙනත් අයෙකුගේ හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවයි හෙළිව ඇත්තේ.

තාවකාලික නවාතැන් පොලට ඇතුළු පාසල් සිසුවිය අනෙක් තිදෙනා එක් කාමරයක සිට මත්පැන් පානය කරන ආකාරය එම නවාතැන්පොලේ සේවකයෙකු දැක ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එම සිව්දෙනා අතර සිටි තරුණියක් සහ තරුණයෙක් නවාතැන්පොලෙන් පිටව ගොස් තිබෙනවා.

මඳ වෙලාවකින් අනතුරුව අනෙක් තරුණයා ද එම ස්ථානයෙන් කලබලයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ස්ථානයට ආහාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු පාසල් සිසුවියගේ නිරුවත් මළ සිරුර නවාතැන්පලට ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබෙනු දැක මේ සම්බන්ධයෙන් නවාතැන්පලේ සේවකයින් දැනුවත් කර තිබෙනවා.

පසුව නවාතැන්පලේ සේවකයන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බව සඳහන්.

මුලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දැනට කාන්තාවන් දෙදෙනෙක් විවාහ කරගෙන ඇති අයෙක් බවයි.

මේ වන විට සැකකරු දෙවන වරට විවාහ කරගෙන ඇති කාන්තාවගෙන් පොලීසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

සිද්ධියට සැකපිට මියගිය සිසුවිය සහ තරුණයා සමඟ නවාතැන් පොලට පැමිණි අනෙක් තරුණ යුවල පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා කලබලයෙන් නවාතැන්පොලෙන් පිටවූ අවස්ථාවේදී අත්අඩංගුවට ගත් යුවලට ඇමතුමක් ලබාදී හදිසියක් බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

තමා සමඟ සිටි සිසුවිය තෙවැනි මහලේ සිට දුම්රිය මාර්ගයට පැන්නේ යැයි පවසමින් සැකකරු එම යුවලට ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පොලීසිය කියා සිටින්නේ මියගිය සිසුවියගේ හිස, ගෙල, පපුව සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට ඇති බවයි.

කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කළුතර පාසලක 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 16 හැවිරිදි සිසුවියෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *