එක්ස්ප්‍රස් පර්ල් නැව පිටත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට ප්‍රකාශයක් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි පැවසීය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සිද්ධිය සම්බන්ධ විවාදයේදී ඔහු මේ බව කීය.

“මේ සිදුවූ විනාශය තුළින් අපි දැක්කා අපේ ප්‍රදේශ තුළ විශාල පාරිසරික හානියක් වුණා. ධීවර හා සංචාරක ක්ෂේත්‍රයට මෙය බලපෑවා. මේක දැවැන්ත ප්‍රශ්නයක් බවට පත් වුණා. ලෝකයේ ආර්ථික මෙවලම් ඇතිවී තිබෙනවා. ඒ අතර වන රක්ෂණය අපේ විශාල වගකීමක්. අපි මේකෙ ඉල්ලා තිබෙනවා යම්කිසි වන්දි මුදලක්. හැබැයි නීතියෙන් ඉල්ලා තිබෙන මුදලට වඩා විශාල වන්දියක් අපිට ලබාගන්න පුළුවන්. ඒ ගැන ආණ්ඩුව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් රජයට කෙලින් ම මම වරද පටවනවා.

ඒ වගේ ම, විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිගේ නියෝග මත නැව පිටත් කිරීමට එදා හිටපු විදේශ කටයුතු ලේකම්වරයා ක්‍රියාත්මක වුණා කියලා. අද වන විට ඒ ගැන විවිධ අදහස්, මත තියෙනවා. නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා තව කතාවක් කියනවා. විජයදාස රාජපක්ෂ මහතා තව කතාවක් කියනවා. හැබැයි රටේ මිනිසුන්ට විශ්වාසය ගොඩනැගෙන්න නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ ගැන ප්‍රකාශයක් කළ යුතු යි.

එහෙම නොවුණොත් අපිට හිතන්න වෙනවා මේක එතුමාගෙ නියෝගයෙන් පිටත් කළේ කියලා. අපේ අධිකරණ පද්ධතිය සුදුසු මදි කියලයි සිංගප්පූරු අධිකරණයට යන්නට තීරණය කරලා තිබෙන්නේ කියල ත් අධිකරණ ඇමතිතුමා ම කියනවා. ඒ වගේ ම තව දෙයක් කියන්න කැමතියි, මේ නැවේ ඇමෝනියම් නයිට්‍රේට් කියන කන්ටේනර තිබුණා කියලා වාර්තා වුණා. ඒවා එළියට ගන්න නැව් සමාගම් ක්‍රියාත්මක නොවීමත් සාහසික වරදක්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *