ප්‍රධාන පෙළේ ප්‍රතිජීවක ඖෂධයක් වන Cefuroxime Sodium injection IP 750Mg නමැති එන්නත මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැඳවනු ලබන ටෙන්ඩරය පසුගිය වසර තුනක පමණ කාලයක් පුරා ම ප්‍රසම්පාදන කමිටුවේ පුරා වසර 10ක් පමණ කාලයක් කටයුතු කරන එක්තරා අතිරේක ලේකම්වරයෙකු මැදිහත්ව හිතාමතා ම ටෙන්ඩරය ප්‍රමාද කරමින් හෝ නැවත ටෙන්ඩර් කැඳවීමක් සිදුකරමින් මුදල් ඉපැයීමේ ක්‍රියාවක යෙදී සිටින බව වාර්තා වේ.

මේ ජාවාරමට සම්බන්ධ ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ, එම ඖෂධ ඉතා වැඩි මිලකට විවෘත වෙළෙඳපොළේ විකිණීම හා රජයේ රෝහල් මගින් ඉතා ඉහළ මිලකට හදිසි ලෙස මිල දී ගැනීම ය.

මෙය ප්‍රතිජීවක ඖෂධයක් වන බැවින් ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇතිවිය හැකි නිසා ලියාපදිංචි ඖෂධ පමණක් මිල දී ගත යුතු බවට ක්‍ෂුද්‍රජීව විශේෂඥයන්ගේ (විද්‍යාඥයන්ගේ) සංගමය මගින් ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ පිළිබඳ උපදේශක කමිටුවට යෝජනා කර සම්මත කර ඇත.

මෙම ටෙන්ඩරයට ලංසු තැබූ එක්තරා සමාගමක් එක් එන්නතකට රුපියල් 74කට පමණ ලංසු තැබුව ද, ජාවාරමට සම්බන්ධ අය වෙළෙඳපොළේ රුපියල් 850කට පමණ මුදලකට එක් එන්නතක් විකුණනු ලබති.

මෙයින් ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ, ටෙන්ඩරයට අඩු ලංසුවක් ඉදිරිපත් කර ඇතැම් නිලධාරීන් සමග එකතු වී ටෙන්ඩරය පිරිනැමීම පමා කිරීමෙන් හෝ අවලංගු කර නැවත මිල ගණන් කැඳවීමයි.

මේ නිසා රජයේ රෝහල් වෙත පැමිණෙන අසරණ රෝගීන්ට ගුණාත්මක භාවයෙන් යුතු ඖෂධයක් සාධාරණ මිලකට ගැනීමට ඇති හැකියාව අහිමි කිරීමත් අධික පිරිවැයක් දරා පෞද්ගලික ෆාමසිවලින් මිල දී ගැනීමට සිදුවීම ත් ය.

මේ වංචාවෙන් අසරණභාවයට පත්වන්නේ, අහිංසක අසරණ රෝගීන් ය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙකු ‘මව්බිම’ට පැවසුවේ විශ්‍රාම යා යුතු වයසේ සිටින වෛද්‍යවරයෙකු ද වන අතිරේක ලේකම්වරයකුගේ ඍජු බලපෑම මත ජනාධිපති අභියාචන කමිටුවට අමාත්‍යාංශය මගින් තොරතුරු විකෘති කර ඉතා ගුණාත්මකභාවයෙන් යුතු එන්නත් ලක්ෂ 25ක් මිලදී ගැනීමේ ටෙන්ඩරය අවලංගු කිරීමට කටයුතු කර තිබෙන බව ය.

මෙම ජාවාරම ගැන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු දැනුම් දී තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *