වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය යාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න නියෝග කර ඇත.

ඒ අනුව, වැලිකඩ පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය මෙසේ අත්හිටුවා තිබේ.

ඊට අමතරව තවත් පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකුට ද සේවා මාරුවීම් ලබා දී තිබේ.

ඒ අනුව ඔවුන් වැලිකඩ පොලිස් ස්ථානයේ සිට කොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම කොට්ඨාස වෙත මාරු කර යැවීමට ද පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

එමෙන් ම, වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ද එම ස්ථානයෙන් මාරු කරන ලෙස පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිර්දේශයක් ද කර තිබේ.

වැලිකඩ ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවකගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී එම නිවසේ රන් ආභරණ අස්ථානගත වීමක් සම්බන්ධයෙන් ටෙලිනාට්‍ය නිෂ්පාදිකා සුධර්මා නෙත්තිකුමාර විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම කාන්තාව වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉකුත් 11 වන දා ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තව ත් නිවසක සේවය කරමින් සිටියදී ය.

වැලිකඩ පොලිසිය ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති අතර ඒ මොහොතේ ඇය අසනීප වීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් ආරම්භ කොට මෙහෙකාරිය අත්අඩංගුවට ගත් මොහොතේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් ප්‍රකාශ පවා සටහන් කර ගෙන ඇත.

පසුව මේ බව පොලිස්පතිවරයා දැනුවත් වීමෙන් පසු ඔහුගේ නියෝග මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පුළුල් විමර්ශනයක් ද ආරම්භ කෙරිණි.

“පොලිස් නිලධාරීන් විසින් කරන ලද විනය විරෝධී ක්‍රියා” සම්බන්ධයෙන් එම ඒකකය තවදුරටත් ඉදිරි විමර්ශන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරනු ලැබ ඇතැයි පොලිස් මූලස්ථානය අවධාරණය කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *