ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රිතව හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කරමින් ගිනස් ලෝක වාර්තා අතරට එක්වීමට කොළඹ යුද හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙනවා.

කොළඹ යුද හමුදා රෝහලේ ජෙනිටෝ මුත්‍රා අංශයේ ප්‍රධානී මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කපිතන් (වෛද්‍ය) ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න සහ වෛද්‍ය තමන්ෂා ප්‍රේමතිලක විසින් මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බව සඳහන්.

ශල්‍යකර්මය සඳහා නිර්වින්දන වෛද්‍යවරුන් ලෙස කර්නල් (වෛද්‍ය) යූ.ඒ.එල්.ඩී පෙරේරා සහ කර්නල් (වෛද්‍ය) සී.එස් අබේසිංහ සහය දක්වා තිබෙනවා.

යුද හමුදා වෛද්‍යවරුන් විසින් පසුගිය ජුනි පළමුවනදා මෙම සැත්කම සිදුකර ඇති අතර මෙම වකුගඩු ගල සෙන්ටිමීටර 13.372ක් දිග සහ ග්‍රෑම් 801ක් බරින් යුක්ත වන බව සඳහන්.

ශල්‍යකර්මයෙන් පසු ඉවත් කරන ලද වකුගඩු ආශ්‍රිත ගල යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ ශල්‍යකර්මය සිදුකළ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ සුතර්ෂන් විසින් යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාධිපතිට පෙන්වා තිබෙනවා.

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ වන විට හමුවී ඇති දිගම වකුගඩු ගල වර්ෂ 2004 දී ඉන්දීයාවේ දී සිදු කරන ලද ශල්‍යකර්මයකදී හමුවී ඇති අතර, එය සෙන්ටිමීටර 13 ක් දිගකින් යුක්ත වූ බව සඳහන්.

බරින් වැඩිම වකුගඩු ගල වර්ෂ 2008 පකිස්ථානයෙන් හමුවී ඇති අතර එය ග්‍රෑම් 620 ක් ලෙස සඳහන් වී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *