අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට අද (19) පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් විදුහල්පති නිල කාමරය තුලදී පහර දීමට විරෝධය දක්වමින් අද (19) දහවල් 12.30 විදුහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් හා පිකටිං ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතය.

මෙම පහර දීමට සාධාරණත්වයක් ඉටු කරන ලෙස ඉල්ලමින් අද (19) පෙරවරුවේම විදුහල්පතිවරයා විසින් අම්බලන්ගොඩ පොලීසියට පැමිණිල්ලද කර තිබේ.

සැකකරු ඉක්මනින්ම අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණය හා පිකටිං ව්‍යාපාරය පැවැත්වෙන බවත් එයට විදුහගේ ගුරුවරුන් හා දෙමාපියන් සහභාගි වන බවත් විදුහගේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

අද (19) පෙරවරු 9.00 – 10.00 ත් අතර මෙම පහරදීම සිදුකර තිබෙන බවට දේවානන්ද විද්‍යාලයේ ගුරුවරුන් ප්‍රකාශ කරයි. විදුහලේ ආරක්ෂාව සදහා යොදවා ඇති ආරක්ෂක නිලධාරියාට බැණ තර්ජනය කර හා පහර දීමට උත්සාහකර විදුහල්පතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයා විදුහලට ඇතුල් වී තිබෙන බවත් ඔහු විදුහලේ ගේට්ටුව අසල සිටම විදුහල්පතිවරයාට බණිමින් විදුහල්පති නිල කාමරය දක්වා පැමිණ තිබෙන බවත් සිදුධිය ඇසින් දුටූවන් ප්‍රකාශ කළේය.

විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටළුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද දැනගන්නට තිබේ. බැට්මින්ටන් ක්‍රීඩාවේ නිරත දරුවෙකු විසින් සිදුකල බව කියන විනය විරෝධී ක්‍රීයාවක් සදහා මීට දින කිහිපයකට පෙර දඩුවම් කල ගුරුවරයෙකුට විරුද්ධව විදුහල්පතිවරයා පියවර නොගත්තේ යැයි සදහන් කරමින් මෙම පහර දීම සිදුකර තිබෙන බවද මේ සම්බන්ධයෙන් කල සොයා බැලීමේදී තහවුරු කර ගැනීමට හැකි විය.

විදුහල්පතිවරයාට පහර දීම සිදුකල පුද්ගලයා මෙසේ ප්‍රකාශ කලද විදුහල්පතිවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් ආයතන ප්‍රධානියා ලෙස නිසි පියවර ගෙන තිබෙන බවද විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. ඔහු සිද්ධියට අදාල සියල්ලන් වෙන වෙනම කැදවා අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙන බවද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *