ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගා කරන ගොවීන්ට බිම් සකස් කර ගැනීමට අක්කරයකට රුපියල් 20,000ක ආධාර මුදලක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා .

එසේම වගාවට අවශ්‍ය බඩඉරිඟු බීජ හා පොහොර සියල්ල නොමිලයේ ලබා දීමට SAPP ව්‍යාපෘතිය තීරණය කර ඇති බවද සඳහන් කරනවා

එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩාපරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩසටහන (SAPP- Small Scale Agri- Business Participation Project) යටතේ ලබන මහ කන්නයේ දී බඩඉරිඟු වගාව සඳහා දිස්ත්‍රික්ක පහක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන රැසක් ලබාදීමටද පියවර ගෙන තිබෙනවා

ලබන මහ කන්නයේ දී හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර හා බදුල්ල දිස්ත්‍රික්කවල බඩඉරිඟු වගා කරන ගොවීන්ට වගාව සඳහා ආධාර උපකාර රැසක් ලබා දීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඊයේ (4) පැවැති සාකච්ඡාවක දී සඳහන් කර සිටියේ .

ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක පහ තුළ අක්කර 22,000ක බඩඉරිඟු වගා කිරීමට කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන මේ වනවිට සැළසුම් කර තිබෙන බවද වාර්තා වනවා

ශ්‍රී ලංකාවේ සත්ත්ව ආහාර සකස් කිරීම සඳහා අවශ්‍ය බඩඉරිඟු නොමැතිවීම හේතුවෙන් මෙම වසරේ ගත වූ කාලය තුළ කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටී තිබුණ අතර ඒ හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු දේශීය වශයෙන් නිෂ්පාදනය ඉහළ නැංවීම ඉළක්ක කරමින් මෙම පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ

එමෙන්ම බඩඉරිඟු වැවීම සඳහා යෝජිත දිස්ත්‍රික්ක අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 5000ක් හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 10,000කත් ඉතිරි ප්‍රමාණය අනෙකුත් දිස්ත්‍රික්කවලත් SAPP ව්‍යාපෘතියේ ආධාර යටතේ වගා කිරීමට නියමිතයි .

මෙම අක්කර 22,500 SAPP ව්‍යාපෘතිය යටතේ වගා කෙරෙන බිම් ප්‍රමාණය වන අතර තවත් අක්කර දහස් ගණනක බඩඉරිඟු වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැළසුම් කර තිබෙන බවද වාර්තා වනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *