සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය කප් සිටුවීමෙන් අගෝස්තු මස 17 වන දින ආරම්භ වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසනවා.

17 වන දින අලුයම 6:12 ට වයඹ දශාභිමුඛව සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වන අතර එතැන් සිට පුරා දින හතරක් එනම් අගෝස්තු මස 21 වන දින දක්වා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරනවා.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහර සංවිධානය කිරීම පිළීබදව ශ්‍රී දළදා මාලිගායේ බහුකාර්යය ගොඩනැගිල්ලේදී ඊයේ (05) පස්වරුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමිනුයි.

එහිදී අදහස් දැක්වූ දියවඩන නිලමේවරයා, අගෝස්තු මස 21 වන දින සිට 25 වන දින දක්වා කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවත් 26 වන දින සිට පුරා දින පහක් එනම් 31 වන දින දක්වා රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන බවත් පවසා සිටියා.

අගෝස්තු මස 31 වන දින අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කොට සධාතුක පෙරහර කරඬුව ඓතිහාසික ගෙඩිගේ රජ මහා විහාරයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පසු දින අලුයම ගැටඹේ දියකපනා ගං තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදුවන බවද ඒ මහතා සඳහන් කළා

31 වන දින දහවල් පෙරහර පැවැත්වීමෙන් අනතුරුව මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *