ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ කැපවීම ශ්‍රී ලංකා වෙත තව දුරටත් සහයෝගය ලබා දීම සඳහා හේතුවක් වන බවට IMF විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් මහතා සඳහන් කළ බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග ඊයේ (23) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවක දීයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එහි දී විධායක අධ්‍යක්ෂකවරයා සඳහන් කර ඇත්තේ, ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි.

මෙහි දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය අගය කර ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකාව, දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතු වන බවයි.

විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහයෝගය පිළිබඳ ව ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *