76 වැනි නිදහස් දින සැමරුම් උළෙල ‘හදමු අලුත් රටක්’ යන තේමාව යටතේ ගාලුමුවදොරදී හෙට (04) අභිමානවත් ලෙස සැමරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි මෙවර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස තායිලන්ත අගමැති සෙට්ඨා තවිසින් මහතා සහභාගි වන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කරන්නේ.

මෙම අවස්ථාවට තායිලන්ත අගමැතිවරයා සමග දූත පිරිසක් ද එම තානාපතිවරුන් ඇතුළු ආරාධිතයන් පිරිසක් ද සහභාගි වන අතර සාමාන්‍ය ජනතාව සඳහා නිදහස් පෙළපාලිය නැරඹීම සඳහා මෙවර අවස්ථාව හිමි වන්නේ නැහැ.

නිදහස් දින සැමරුම් පෙළපාලිය සඳහා යුද, ගුවන්, නාවික, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය භට බළකායේ සාමාජිකයෝ එක්වනවා.

මේ සඳහා නිලධාරීන් 241 දෙනකු සමග ආරක්‍ෂක අංශ සාමාජිකයන් 6125ක් සහභාගි වන බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ.

සැමරුම් පෙළපාලිය සඳහා ගුවන්යානා 19ක් සමග ගුවන් හමුදාවේ නව තාක්‍ෂණ නිපැයුම් මෙවර පෙළපාලියට එක්කරන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ මහතා සඳහන් කර ඇති අතර නාවික හමුදා රථ පෙළපාලියට සමගාමීව නාවික හමුදාව සතු නැව් කිහිපයක් ගාලුමුවදොර අබියස මුහුදේ ගමන් කරමින් ප්‍රදර්ශනයට සහය වනවා.

නිදහස් දින සැමරුම වෙනුවෙන් 03 වැනිදා සවස 2.00 සිට 04 වැනිදා දහවල් 12.00 පමණ වන තෙක් කොල්ලුපිටියේ සිට ගාලුමුවදොර දක්වා පාර වසා දමන බවයි වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *