දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වාදෙන්නේ වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවය.

හෙටට (31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

දුම්කොළ කර්මාන්තයේ මැදිහත්වීම්වලින් අපේ දරුවන් ආරක්ෂා කරගනිමු යන්න මෙවර ලෝක දුම්වැටි නිවාරණ දිනයේ තේමාව ය.

මේ වන විට මෙරට දුම්වැටි භාවිතය සියයට 9.1කින් අඩුවී ඇති අතර තරුණ පිරිස් අතර දුම්වැටි භාවිතය ඝීග්‍රයෙන් අඩුවෙමින් පවතින බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

දුම්කොළ සමාගම් වාර්තාවලට අනුව පසුගිය වසර තුළ දුම්වැටි නිෂ්පාදනය සියයට 19කින් පමණ අඩුවී තිබේ.

ලෝකයේ දුම්වැටි භාවිතය අඩුවෙමින් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව තුළ ද හොඳ ප්‍රවණාතාවක් පැවතුණ ද තවදුරටත් මිලියන 1.5ක පමණ පිරිසක් දුම්වැටි භාවිතය සිදුකරන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

පවතින තත්ත්වය හමුවේ තරුණයින් සහ ළමුන් දුම්වැටි භාවිතයට යොමුකරවීම සඳහා බහුජාතික දුම්කොළ සමාගම් කූට උපක්‍රම ගණනාවක් දියත් කරමින් සිටින බව සඳහන් ය.

මේ අතර පාසල් ළමුන් අතර දුම්වැටි භාවිතය සඳහා ඇබ්බැහිවීම ඉහළ යමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්දන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *