හෙට (01) දිනයෙන් ආරම්භ වීමට නියමිත 2024 LPL තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අද (30) පෙරවරු 10 සිට සවස 5 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විශේෂ කවුන්ටරයෙන් මිළදී ගත හැකියි.

පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරග නොපැවැත්වෙන දිනවලදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථාන ගේට්ටු අංක 5 කවුන්ටරයෙන් ප්‍රවේශ පත්‍ර මිළදී ලබා ගැනීමේ පහසුකම් සලසා තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

තරග පැවැත්වෙන දිනවලදී බලගොල්ල අභීත ක්‍රීඩා පිටියේ පිහිටුවා තිබෙන විශේෂ ප්‍රවේෂපත්‍ර කවුලුවෙන් මිලදීගත හැකි වනවා.

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ ප්‍රවේශ පත්‍ර රුපියල් 200 සිට රු. 3000 දක්වා කාණ්ඩ දහයක් යටතේ ලබා ගැනිමේ අවස්ථාව ප්‍රේක්ෂක ජනතාවට ලබාදී තිබෙන බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

මේ අතර තීරක සහ විනිසුරු මඩුලු ප්‍රකාශයට පත් කර තිබෙන අතර ICC Elite පැනලය නියෝජනය කරමින් රන්ජන් මඩුගල්ලේ මහතා ද, ICC අන්තර්ජාතික පැනලය නියෝජනය කරමින් ග්‍රැහැම් ලැබ්‍රෝයි සහ වෙන්ඩෙල් ලැබ්‍රෝයි යන අය ද නම් කර තිබෙනවා.

ප්‍රදීප් ජයප්‍රකාශ්දරන් මහතා ද පළමු පෙළ තරග තීරකවරයෙකු ලෙස මෙම පිරිස අතරට එක් වන අතර විදෙස් විනිසුරුවරුන් දෙදෙනෙකු ද සමඟ 12 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

එහි දී ICC අන්තර්ජාතික පැනලයේ විනිසුරුවරුන් ලෙස කුමාර් ධර්මසේන, රවීන්ද්‍ර විමලසිරි, රුචිර පල්ලියගුරුගේ, ප්‍රදීප් රඹුක්වැල්ල, Roland Black (අයර්ලන්තය), Faisal Khan Afridi (පාකිස්තානය) මෙවර තරගාවලියට එක් වන අතර, දේශීය පළමු පෙළ විනිසුරුවරුන් ලෙස චාමර ද සොයිසා, ශාන්ත ෆොන්සේකා, සංජීව ප්‍රනාන්දු, රවින්ද්‍ර කොට්ටහච්චි, අසංක නානයක්කාර සහ S.P.R.I දුල්සිරි යන අය තරගාවලියේ විනිසුරු මඩුල්ලට එක්ව සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *