නව තානාපතිවරුන් 06 දෙනෙක්, මහ කොමසාරිස්වරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ව්‍යවස්ථාපිත ආයතන සභාපතිවරයෙක් පත්කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්. ඒ. පී. පී. සේරම් මහත්මියගේ නමද, කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එස්.කේ අසාර්ඩ් මහත්මිය‍ගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස එස්.කේ. ගුණසේකර මහත්මියගේ නමද, ඊජිප්තු අරාබි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ඒ.එස්.කේ. සෙනවිරත්න මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

තවද ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එන්.එම් ෂහීඩ් මහතාගේ නමද, බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස වයි.කේ. ගුණසේකර මහත්මියගේ නමද, නවසීලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්.පී වල්පිට ගමගේ මහතාගේ නමද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර තිබෙනවා.

ඊට අමතරව, පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් එස්. වීරසිංහ මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබාදී තිබෙනවා.

තවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ආචාර්ය ඩී.ටී.කේ. බර්නාඩ් මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව නිර්දේශ ලබාදී තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කාරක සභා සාමාඡික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජෝන් සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, රිෂාඩ් බදියුදීන්, තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල යන මහත්ම මහත්මීන් සහභාගී වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *