2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ කටයුතු මේ වන විට අවසන්.

එම කටයුතු අද (15) පෙරවරු 9ට රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී ආරම්භ වුණා.

පෙරවරු 11 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුවු අතර ඊයේ (14) දිනය වන විට ඇප තැන්පත් කර තිබු අපේක්ෂකයින් 40 දෙනා අතරින් 39 දෙනෙකු අද මෙලෙස නාම යෝජනා භාරදීම සිදුකර තිබෙනවා.

පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 22ක්, ස්වාධීන අපේක්ෂකයින් 17 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂයකින් එක් අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා භාර දී තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදීම සිදුකළ අතර සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබල වේගය පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාම යෝජනා භාර දෙනු ලැබුවා.

සර්වජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා තරු ලකුණ යටතේ නාම යෝජනා භාරදීම සිදුකළා.

අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙසත් නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසත් නාම යෝජනා භාරදුන්නා.

මීට අමතරව විජේදාස රාජපක්ෂ, සරත් ෆොන්සේකා, රොෂාන් රණසිංහ, ජනක රත්නායක යන මහත්වරුද නාමයෝජනා භාරදෙනු ලැබුවා.

නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී තිබෙනවා.

නාමයෝජනා භාරගැනීමේ කටයුතුවලින් අනතුරුව ඉදිරිපත් වූ විරෝධතා සලකා බලා ජනාධිපතිවරණයට තෝරාගනු ලැබූ අපේක්ෂකයින් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

අනතුරුව ස්වාධීනව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කිරීම ද සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *