සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (16) බෙල්ෆාස්ට්හිදී ආරම්භ වනවා.

දෙරට අතර පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ආරම්භ වීමට නියමිතයි.

එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියට එක්වීම හේතුවෙන් අයර්ලන්තයට එරෙහි විස්සයි20 තරගාවලියට එක් නොවූ ශ්‍රී ලංකා නිත්‍ය නායිකා චමරි අතපත්තු අද තරගයේදී යළි ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනවා.

මේ තරගාවලිය දෙපිලටම ඓතිහාසික අවස්ථාවක් වී තිබෙනවා.

ඒ මේ දෙරට ද්වීපාර්ශ්වික එක්දින ක්‍රිකට් තරගාවලියකින් හමුවන පළමු අවස්ථාව වීම නිසාය.

මින් පෙර ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය කාන්තා එක්දින ක්‍රිකට් තරග බිමේදී සිව්වරක් හමුවී තිබුණ ද, ඒ අයිසීසී හෝ වෙනත් තරගාවලියකදීය. එම තරග 4න් 3ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, තරගයක් විසඳුමකින් තොරව නිමා වී තිබෙනවා.

මේ දෙපිල එක්දින පිටියේදී හමුවන්නේ වසර 7කට පසුවය.

අවසන් වරට 2017 වසරේ පෙබරවාරි 8 වැනිදා අයිසීසී කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදීය.

මේ තරගාවලියට ක්‍රීඩා කරන චමරි අතපත්තු, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී 2017 තරගයට ද එක්වුණා.

අද තරගයේදී අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන ලෝරා ඩෙලනි එම තරගයේදී නායිකාව ලෙස කටයුතු කර තිබෙනවා.

මේ තරගාවලිය අයිසීසී කාන්තා ශූරතාවලියට ද ඇතුළත් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *