වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

ඉන් එක් ඝාතනයක් ඊයේ අලුයම් කාලයේදී හලාවත පොලිස් වසමේ විලත්තව ප්‍රදේශයේදී සිදුකර තිබෙනවා.

වයස අවුරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී එම මරණකාරිය මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඝාතනයට ලක් වූ කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මියගොස් වැටී සිටි බවට ඇගේ දියණිය ප්‍රකාශයක් ලබාදී තිබුණා.

එමෙන්ම දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන්කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරු වීරපොකුණ, බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසනවා.

මේ අතර ඊයේ උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ ඔවාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසලදී තවත් ඝාතනයක් සිදුකර තිබෙනවා.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සේවය කළ වෙළෙඳසැලෙහි හිමිකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳ සැල් හිමිකරු විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, වෙළෙඳසැලේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ලයෙකු බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *