පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ඒ අවට පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වනවා.

හැමිල්ටන් ඇළ සහ ලුණු ඔය පීටර ගැලීම හේතුවෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අද (19) අලුයම 01.30 සිට ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවී තිබෙනවා.

ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී තිබෙනවා.

මෙම මාර්ග හරහා ගමන් ගන්නා රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට තෝඩුවාව පොලීසිය දැනුම් දී තිබෙනවා.

මෙම මාර්ගයේ ගමන් කළ රථ වාහන කිහිපයක් ජලයට අසුවී ධාවනය කිරීමට නොහැකිව නතර වී තිබු බව සඳහන් වනවා.

මේ අතර, කුකුලේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ඉන් තත්පරයට ඝන මීටර 53ක ජල ධාරිතාවක් කුඩා ගඟ වෙත මුදා හැරෙන අතර කුඩා ගඟා පිටාර ගැලීම හේතුවෙන් ඒ අවට පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබෙනවා.

බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ දඹල සහ ඇටඹගස් හන්දිය යන ප්‍රදේශවල මාර්ග, පහත්බිම් සහ නිවාස ද මේ වන විට ජලයෙන් යටවී පවතින බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළා.

එමෙන්ම බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර බුලත්සිංහල සිට මෝල්කාව, ලත්පදුර, කෙලින්කන්ද ආදී ප්‍රදේශවලට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදුව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම මහවැව, ලුණූ ඔය හා හැමිල්ටන් ඇළ පිටාර ගැනීමත් සමඟ කොළඹ – පුත්තලම මාර්ගය මහවැව නගරය ආසන්නයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලව තිබෙනවා.

ඒ අනුව මේ වන විට මහවැව තනිවැල්ල දේවාලයේ සිට මහවැව නගරය දක්වා මාර්ගය ජලයෙන් පිරී ඇති හෙයින් රථවාහන ගමනා ගමනය ඉතා අවදානම් බව මාදම්පේ හා මාරවිල පොලිස්ථාන වලින් දැනුම් දී තිබෙනවා.

මේ අතර, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2,354 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *