සත්කාරක අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කර බෙල්ෆාස්ට්හිදී අද (20) අවසන් වූ තෙවෙනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කෙසේ නමුත් දෙරට අතර අවසන් වූ පළමු තරග දෙකෙහිම ජය අයර්ලන්තය සතුවූ අතර, ඒ හේතුවෙන් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය ඔවුන්ට හිමි වුණා.

මෙහිදී අයර්ලන්තයෙන් හිමිවූ ලකුණු 123ක පහසු ඉලක්කය පන්දුවාර 23.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකා පිතිකාරිනියෝ සමත් වුණ.

ශ්‍රී ලංකා ජය තහවුරු කරමින් නායිකා චමරි අතපත්තු පන්දු 49කට මුහුණදෙමින් ලකුණු 48ක් රැස්කළ අතර, ඇගේ ඉනිමට හතරේ පහර 10ක්ද ඇතුළත් වුණා.

චමරිට අගනා සහායක් දුන් හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 48ක් රැස්කළා.

පන්දු 56කින් ගොඩනැගුණු හර්ෂිතාගේ ඉනිමටද හතරේ පහර 07ක් ඇතුළත් වුණ.

මෙහි පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත කණ්ඩායම පන්දුවාර 46.3කදී ලකුණු 122කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූවා.

මෙම තරගාවලිය අයි.සී.සී. කාන්තා ශූරතාවලට සමගාමීව පැවැති හෙයින් මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 04වැනි ස්ථානය දක්වා පියවරකින් ඉදිරියට පැමිණීමට හැකි වුණා.

කෙසේ නමුත් මෙහි පෙර තරග දෙකද ජයගැනීමය හැකිවූවානම් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබුණා.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ අයර්ලන්ත කණ්ඩායම තවමත් පසුවන්නේ අවසන් ස්ථානයේයී.

තරග 15කට ක්‍රීඩාකර ඉන් තරග 11ක්ම පරාජය වී සිටින ඔවුන් ලැබූ ජයග්‍රහණ දෙකම වාර්තා කරනු ලැබුවේ ශ්‍රී ලංකාවට එරෙහිවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *