පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 300කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

එසේම නාම යෝජනා දුන් අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් මියගොස් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

මීට අමතරව අපේක්ෂකයන් පන්සියයකට ආසන්න පිරිසක් විවිධ හේතු මත පසුකාලීනව පක්ෂ මාරු කර ඇති බව මැතිවරණ නිලධාරීන්ට තොරතුරු දැන ගන්නට ලැබී තිබුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා දුන් පුද්ගලයන් පිළිබඳ විස්තර සොයා බැලීමට ඉදිරි කාලයේදී විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.

පළාත් පාලන ඇතිවරණයට අදාළව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් පසු අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ පුළුල් සොයා බැලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ඒ ඒ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තු වෙයි.

මේ කරුණු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික ගැටලු රැසක් මතුව ඇතැයි මැතිවරණ නිලධාරීහු පෙන්වා දෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *