බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට ශ්‍රී ලංකා රේගුව සූදානම් වනවා.

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව 2024 වසරේ මුල් මාස 6 තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද දුම්වැටි විනාශ කිරීමට නියමිතයි.

ඒ අනුව රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතු දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂණය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් සිදු කරනවා.

මෙම නීති විරෝධි දුම්වැටි මඟින් වංචා කිරීමට තැත්කළ මුළු බදු ප්‍රමාණය රුපියල් මිලියන 480 කට අධික බවයි වාර්තා වන්නේ.

ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන් යොදාගෙනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව, කාම්බෝජය සහ චීනය වැනි රටවල සිට මෙම දුම්වැටි තොගය ආනයනය කර තිබෙනවා.

රේගු ආඥා පනත යටතේ ජාවාරම්වලට සම්බන්ධ මගීන්ට දඩුවම් ලබාදීමෙන් අනතුරුව මෙම දුම්වැටි රාජසන්තක කර තිබෙනවා.

පාරිසරික ආරක්ෂාව මූලික කරගත් ජාතික නීතිවලට අනුකූල දැඩි රෙගුලාසි යටතේ මෙම දුම්වැටි තොගය විනාශ කිරීමට නියමිතයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *