වියට්නාමයට බලපා ඇති යාගි සුලි කුණාටුව හේතුවෙන් එරට කාර්යබහුල පාලමක් කඩා වැටී තිබෙනවා.

ඉතා කාර්යබහුල ෆු තෝ පළාතේ ෆොන්ග් චෞ නම් පාලම මෙලෙස කඩා වැටුණා .

ඒ අවස්ථාවේ පාලම මතින් ධාවනය වෙමින් තිමූ මෝටර් රථයක ඉදිරිපස කැමරාවේ මෙම අනතුර පිළිබඳව පටිගත වී ඇති අතර එම අවස්ථාවේ මෝටර් රථ 10ක් සහ ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක්ද ගඟට වැටී ඇති බව එරට නියෝජ්‍ය අගමැතිවරයා පවසා තිබෙනවා.

අනතුර හේතුවෙන් අතුරුදන්වූ පුද්ගලයින් 13 දෙනෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යාගි සුළි කුණාටුව වසර 30කට පසුව වියට්නාමයට ඇති වූ ප්‍රභලම සුළි කුණාටුව බවටයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

සුළගේ වේගය පැයට කිලෝමීටර් 203ක් වනවා.

මේ අතර කඩා වැටුණු ෆොන්ග් චෞ පාලමේ මීටර් 375 (අඩි 1230) කොටසක් තවමත් පවතින අතර, හැකි ඉක්මනින් ඒ හරහා පොන්ටූන් පාලමක් ඉදිකරන ලෙස එරට හමුදාවට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර යාගි සුළි කුණාටුව හේතුවෙන් නිවාස 3,000 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර රට අභ්‍යන්තර කඳුකර ප්‍රදේශ විශාල ලෙස නායයෑම් සිදුව තිබෙනවා.

වියට්නාමයට ඇතුළු වීමට පෙර යාගි සුළිකුණාටුවේ බලපෑමෙන් පසුගිය සතියේ පිලිපීනයේ මරණ 20 ක් සහ චීනයේ මරණ තුනක් සිදුව තිබෙනවා.

දේශගුණික විපර්යාස හේතුවෙන් අග්නිදිග ආසියාවේ වැසි කාලය තුළ ආන්තික කුණාටු වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතින බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *