මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කුඩා දරුවන් යොදාගන්නා වීඩියෝ සහ ඡායාරූප  පසුගියදා සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණා.

ඒ පිළිබඳව විරෝධය දක්වමින් ” සුරකිමු දරුවන් ” ජාතික ව්‍යාපාරය විසින් අද මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කැන්වසින් යාම සඳහාත් , මැතිවරණ ප්‍රචාරණ පට සඳහාත් දරුවන් පාවිච්චි කිරීම අනුමත නොකරන බවයි ” සුරකිමු දරුවන් ” සංවිධානයේ කැඳවුම්කරු ප්‍රියන්ත හේරත් මහතා පැවසුවේ.

ඒ පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි කලද මෙතෙක් කිසිඳු පියවරක් ගෙන නොමැති නිසා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බවද ඒ මහතා සඳහන් කළා.

මේ අතර මැතිවරණ කටයුතු සඳහා කුඩා දරුවන් යොදා නොගන්නා ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.

ඒ සම්බන්ධව අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ කරුණාකර පරමාධිපත්‍ය බලය සහ ජනතාවගේ ඡන්දය වෙළෙඳ භාණ්ඩයක් කර නොගෙන අනාගත අනාගත පරම්පරාව වෙනුවෙන් කටයුතු කරන වගකීම පිළිබඳ අවධානය යොමුකරන ලෙසයි.

එමෙන්ම එවැනි ක්‍රියා සඳහා දරුවන් යොදා ගැනීම සම්බන්ධව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ළමා ආරක්ෂණ අධිකාරියේ වගකීමක් බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමෙන් මතක් කරන තෙක් නොසිටින ලෙසත් ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *