ජාතික ජනබලවේගි රජයක් පිහිටුවීමෙන් පසු ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර නවත්වන බවට තමන් ප්‍රකාශ කළා යැයි සඳහන් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශයෙන් තම කීර්තිනාමයට දැඩි හානියක් වූ බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.

එ අනුව තිස්ස අත්තනායක මහතාට සහ මෙරට සුප්‍රසිද්ධ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට එරෙහිව රුපියල් කෝටි දහයක වන්දියක් ඉල්ලමිනුයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ.

පසුගිය අගෝස්තු 19 වනදා මාවනැල්ල ප්‍රදේශයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවේදි තිස්ස අත්තනායක මහතා දැඩි අපහාසාත්මක ලෙස එම ප්‍රකාශය කළ බවත් , එම ප්‍රකාශය අදාළ නාලිකාවේ පුවත්පත් විස්තර සම්බන්ධයෙන් පළකරන වැඩසටහනක විකාශය කළ බවද එබැවින් තම කීර්ති නාමයට දැඩි ලෙස හානි වූ බවටද පවසමින් තමන්ට රුපියල් කෝටි දහයක වන්දියක් අයකර දෙන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රිනි හරිනි අමරසූරිය මහත්මිය අධිකරණය හමුවේ ඉල්ලා තිබෙනවා.

අසත්‍ය බව දැන දැනත් තිස්ස අත්තනායක මහතා සිදුකළ එම ප්‍රකාශය හේතුවෙන් තමා විශ්වවිද්‍යාල ආචාර්‍යවරියක් ලෙස ගොඩ නගාගෙන ඇති කීර්ති නාමයට දැඩි ලෙස හානි වූ බවයි ඒ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *