මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් මේ මොහොතවනවිට විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිට දෙමව්පියන් විරෝධතාවයක නිරත වනවා.

දෙමාපියන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසයි.

විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමටද අවස්ථාව හිමිවුණා.

මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකයයේ නිලධාරින්ද එම ස්ථානයට ගෙන්වා තිබෙනවා.

දෙමාපියන් පවසන්නේ විභාග කොමසාරිස්වරයා මෙම ප්‍රශ්නය සැහැල්ලුවට ගෙන ඇති බවත්, ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

මීට සමගාමීව අද ප්‍රදේශ කිහිපයකදි විරෝධතා පැවැත්වූ බවයි වාර්තා වන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකින් එල්ලවූ චෝදනා ඔස්සේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණයකළා.

කෙසේ නමුත් දෙමවුපියන් ඉල්ලා සිටින්නේ පැවැත්වු ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *