9 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඬහා පවත්වන 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද උදෑසන 07.00 සිට පස්වරු 04.00 දක්වා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදි ඡන්ද විමසීම පැවැත්වෙනවා.

උදෑසනම ගොස් තම වටිනා ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා සියලු පාර්ශවයන් එක්වන ලෙසද ඒ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වන වැඩිම අපේක්ෂක සංඛ්‍යාව ඉදිරිපත්වන ජනාධිපතිවරණය මෙය වන අතර අපේක්ෂක්යින් සංඛ්‍යාව 38 ක්.

මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත ඡන්ද දායකයින් සංඛ්‍යාව 17,140,354 ක්.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්දදායකයින් සහිත දිස්ත‍්‍රික්කය බවට පත්වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයයි.

එම දිස්ත‍්‍රික්කයේ සිටින ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව 1,881,129ක්.

කොළඹ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,765,351 ක්.

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,417,226 ක් වනවා.

මහනුවර දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,191,399 ක් බවයි වාර්තා වන්නේ.

කළුතර දිස්ත‍්‍රික්කයෙ ඡන්දදායකයින් සංඛ්‍යාව 1,024,244 ක්.

රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් ඡන්දදායකයින් 923,736, ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් 903,163, අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් 741,862, සහ කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් ඡන්දදායකයින් 709,622 දෙනෙක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 705,772ක් සහ මාතර දිස්ත‍්‍රික්කයේ සංඛ්‍යාව 686,175ක් ලෙස සුදුසුකම් ලබා තිබෙනවා.

පුත්තලම දිස්ත‍්‍රික්කයේ හය ලක්ෂ 63,673 දෙනෙක්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් 605,292 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති අතර යාපනය සහ කිලිනොච්චිය ඇතුළත් යාපනය මැතිවරණ දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 593,187 දෙනෙක් .

දිගාමඩුල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 555,432 දෙනෙක් වන අතර හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 520,940ක්.

මඩකලපුව දිස්ත‍්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 449,686 ක්.

මාතලේ දිස්ත‍්‍රික්කයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ඡන්ද දායකයින් 429,991 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර
මොනරාගල දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 399,166 දෙනෙක්.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 351,302 දෙනෙකු වන අතර ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ඡන්දදායකයින් සංඛ්‍යාව 315,925 ක්.

අඩුම ඡන්ද දායකයින් පිරිසක් සහිත මැතිවරණ දිස්ත‍්‍රික්කය බවට පත්ව ඇත්තේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් ඇතුළත් වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්කය වන අතර එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 306,081ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වැඩිම ඡන්දදායකයින් පිරිසක් සහිත ඡන්ද බලප‍්‍රදේශය බවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් හෝමාගම ඡන්ද බල ප්‍රදේශය වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව 215,075 දෙනෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *