ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද රාත්‍රී 7.30ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවය.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පසුගිය 21 වනදා පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 5,740,179ක් ලබා ගනිමින් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කළේය.

ජනාධිපතිධූරයට පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, ‍ඊයේ (24) මාධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ දසවන වගන්තියේ විධිවිධාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව  නව පාර්ලිමේන්තුව තෝරා පත්කර ගැනීමට අදාළ මහ මැතිවරණයේ නාම යොජනා භාරගැනීම ඔක්තෝම්බර් මස 04 වනදා සිට  ඔක්තෝම්බර් මස 11 වන දින දහවල් 12 දක්වා සිදුකිරීමට නියමිතය.

මැතිවරණ කොට්ඨාස 22 අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී නාමයෝජනා භාරගැනීම සිදුකෙරෙණු ඇත.

මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

මහ මැතිවරණයෙන් පත්වන අභිවන 10 වන පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වන දින රැස්වීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා 2025 අයවැය පුරෝකථනවල දී රුපියල් බිලියන 11ක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *