ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් රට තුළ පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කර තිබෙනවා.

ඒ අද පෙරවරුවේ එම නික්ලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී.

ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන් දැනුවත් කල බවයි වාර්තා වන්නේ.

වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් 800ක් සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මගින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිලි කළ බවද වාර්තා වුණා.

ඒ අනුව විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබාදීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *