ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත සංචිතයට නවක වේගපන්දු යවන්නෙකු වන Josh Hull කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්වූ වේගපන්දු යවන මාක් වුඩ්ට ඉතිරි තරග ද්විත්වය ක්‍රීඩාකළ නොහැකි බවට වෛද්‍ය නිර්දේශ ලැබීමත් සමග එංගලන්තය විසින් මෙම කැඳවීම සිදුකර ඇති බව වාර්තා වනවා.

ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන වමත් වේගපන්දු යවන්නෙකු වන Josh Hull 20 හැවිරිදි අයෙකු වනවා.

කිසිඳු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩාකර නොමැති ඔහු මේ දක්වා ක්‍රීඩාකර ඇත්තේද පළමුපෙළ තරග 09කට පමණයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත තරගාවලිය ආරම්භ කිරීමට පෙර ලයන්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකළ එකම පුහුණු තරගයට ජෝෂ් ක්‍රීඩාකළ අතර, ඔහු එම තරගයේදී කඩුලු 05ක් බිඳලීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවට එම පුහුණු තරගයෙන්ද කඩුලු 07ක පරාජයක් ලැබීමට සිදුවුණා.

අඩි 6 අඟල් 7ක දැවැන්ත උසකින් යුත් ජෝෂ්ට පැයට කිලෝමීටර 145 ඉක්මවු වේගයකින් පන්දු යැවීමේ හැකියාවක් තිබෙනවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී දිනේෂ් චන්දිමාල් ඇඟිල්ලේ ආබාධයකට ලක් වූයේද මේ වනවිට තරගාවලිය අහිමි වී සිටින මාක් වුඩ් පැයට කිලෝමීටර් 149ක වේගයෙන් යැවූ පන්දුවක් වැදීමෙනුයි.

කෙසේ නමුත් මාක් වුඩ්ගේ ස්ථානයට Josh Hull කැඳවුවත් එංගලන්ත මූලික සංචිතයට නම්කර සිටි ඔලි ස්ටෝන් ක්‍රීඩා කරවීමට වැඩි ඉඩක් ඇති බව ක්‍රීඩා විචාරකයින් සඳහන් කරනවා.

මේ දක්වා ටෙස්ට් තරග 03කට ක්‍රීඩාකර ඇති ස්ටොන් කඩුලු 10ක් බිඳහෙළා තිබෙනවා.

කෙසේ නමුත් 2021 වසරේ ජූනි මාසයෙන් පසු මේ දක්වා එංගලන්තය නියෝජනය කරමින් ඔහු කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර නැහැ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *