ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඡන්ද දායකයින්ගෙන් සහ ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉටුවිය යුතු යුතුකම් සහ වගකීම් සම්බන්ධයෙන් මෙහි දක්වා තිබෙනවා.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුනු ත්‍රිත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය බව සිය විශ්වාසය බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසන්නේ.

දුෂිත පුද්ගලයින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිත කිරීම වැදගත් බව එහි වැඩිදුරටත් සඳහන්.

බොරු පොරොන්දු ලබා දෙමින් ඡන්ද දායකයින් රවටා ඔවුන් නොමඟ යැවීමෙන් වළකින ලෙසත්, තම ඡන්ද ව්‍යාපාර සංවිධායකවරුන් සහ ආධාරකරුවන් කරන කියන දේ පිළිබඳව සුපරික්ෂාකාරී වන ලෙසත් කතෝලික රදගුරු සමුළුව ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා තිබෙනවා.

එසේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් අවංකව සහ සාධාරණව රට පාලනය කරනු ඇති බවට විශ්වාස කළ නොහැකි බවයි එම නිවෙදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.

එබැවින් මේරට ප්‍රධාන ආගම් හතරේ සාරධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුව රට පාලනය කරන නායකයෙකු තෝරා පත්කර ගැනීම සඳහා තම ඡන්දය පාවිච්චි කරන ලෙසද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද එහි දැක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *