මෙවර ජනාධිපතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන ස්ථාපිහ කර ඇති ස්ථාන සහ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 04 වනදා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල වලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම සැප්තැම්බර් 04 සහ 06 දෙදින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්‍යාල , නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී කාර්‍යාල,සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්යය බලකාය, විශේෂ පොලිස් ඒකක , ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල දී නිල ඇඳුම් සහිත කාර්යය මණ්ඩල වලට සහ එම කාර්යාලවලට අනුයුක්තව සේවය කරන සිවිල් කාර්යය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතිනවා.

සැප්තැම්බර් මස 05 සහ 06 දිනවල ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර නියමිත දිනවලදි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්තික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින ඡන්දය සලකුණු කිරීමට හැකියාව ලැබෙනවා.

ඡන්දය සලකුණු කිරීමේදි අනන්‍යතාවය පෙන්වීම සඳහා ජාතික හැදුනුම්පත , වලංගු රියදුරු බලපත්‍රය , වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිත කිරීමට හැකියාව පවතිනවා.

රාජකාරී හැදුනුම්පත භාවිත කර තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා පැමිණෙන්නේ නම් ඡන්ද හිමියාගේ අනන්‍යතාවය පරික්ෂා කිරීම තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කාර්යය අධීක්ෂණ නිලධාරියා විසින් සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.

එසේ නොමැතිව රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කර ඡන්ද සලකුණු කිරීමේ හැකියාවක් නොලැබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *