සමගි ජන බලවේගයේ වේදිකාවල 88 / 89 අරගලය සම්බන්ධයෙන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මාධ්‍යය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පැවසුවේ සමගි ජන බලවේගය සියප්‍රතිවාදියා ලෙස ජනතා විමුක්ති පෙරමුණ නම් කර ඇති බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්

” අපි දන්නවා ජේ ආර් ජයවර්ධන 78 දී විශාල මර්ධනයක් එක්ක තමයි ඔවුන්ගේ 17 වසරක පාලනය පවත්වාගෙන යන්න මැදිහත් වුණේ. රට ජාතිවාදී යුධයකට මග පෑදීම, උතුරේ සංවර්ධන සභා ඡන්ද කොල්ලය, යාපනය පුස්තකාලය ගිණිතැබීම, ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම, ජනමත විචාරණයක් ගෙනල්ලා ජනමතය කොල්ලකෑම වගේ දැවැන්ත මර්දනකාරී වැඩපිළිවෙළක් එක්ක තමයි ජේ ආර් පාලනය පවත්වාගෙන ගියේ.

එහෙම කොල්ලකාරී පාලන ක්‍රමයකයට එරෙහිව තමයි 88 89 දී ජනතා විමුක්ති පෙරමුණ විදිහට ඒ අරගලයට මැදිහත් වුනේ. අපි දන්නවා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට එහි යම් යම් දේවල් පිළිබඳව ස්වයං විවේචන තියනවා. හැබැයි ඒ ඇතිවුණ තත්වයට වගකියන්න ඕන රනිල් වික්‍රමසිංහලා පවා නියෝජනය කරන ලද කොල්ලකාරී පාලනය. හැටදහසක් ජනතාව ජීවිත පරිත්‍යාග කරමින් කරන ලද එම අරගලය පිළිබඳ එල්ලකරන ඡෝදනා වලට උත්තර නොදී ජනතා විමුක්තිපෙරමුණ මේ යන ගමන වැටිලා තියෙන්නෙ ධනේශ්වර පන්තිය එක්ක සන්ධානයකට කියන එක පැහැදිලියි.

අපි දැක්කා මාලදිවයිනේ තානාපති විදිහට හිටපු තෝරදෙනිය එක්ක හදුන්හෙට්ටිලා ගිහිං සාකච්ඡා පවත්වනවා. අපි දන්නවා ඒ කාලේ පුවත්පතවල පලවුනේ රෝහණ සහෝදරයට වෙඩි තිබ්බේ තෝරදෙනිය කියලා. ඒ තෝරදෙනියල එක්ක තමයි දැන් ජවිපෙ සම්බන්ධතා පවත්වන්නෙ.

දැන් මේ ලඟදි මාලිමාවේ ව්‍යාපාරික සමුළුව තිබුණා. ඒකට ඇවිත් තිබුණා ජෝන් කීල්ස් සමාගම. ඔය ජෝන් කීල්ස් සමාගම කොළඹ වරායේ නැව් තෙල් අංශය කුණු කොල්ලයට මිලදීගනිද්දි අනුරකුමාර දිසානායකලා තමයි ඒ කාලේ ඒකට පාර්ලිමේන්තුව ඇතුලෙ හඬ නැගුවේ. හැබැයි අද ඒ ජෝන් කීල්ස් එක්කම ඔවුන් සන්ධානගතවෙලා. මේ සමුළුවට ආව ඩි එස් අයි සභාපති ජේ වි පි නායකයන් ඉදිරිපිට තියාගෙනම තමයි කිව්වේ රොකෆෙලර් ගැන. දැන් මාක්ස්වාදය අසාර්ථකයි මාක්ස්වාදය ෆේල් වෙළෙඳපොළ ආර්ථිකයක් තමයි හැදෙන්න ඕන කියද්දි ගැලරියට වෙලා සිනහ මුසු මුහුණින් මුණිවත රකිමින් ඉන්න තරම් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ අද තමන්ගේ ප්‍රතිපත්ති පාවාදෙමින් ඉන්නවා.

අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වශයෙන් තිබුණා සන්නාමයක්. දේශපාලන බෙදුම් රේඛාවක්. අද වෙද්දි සියලු පාර්ශ්වයන් සතුටු කරන්න ජනතා විමුක්ති පෙරමුණ මේ යන ගමන එක්ක ඔව්න්ට ඒ නිශ්චිත බෙදුම් ඉර ඇඳගන්න බැරි වෙලා තියෙන්නෙ. නිශ්චිත ප්‍රතිපත්තියක් කියාගන්න බැරුව එක එක වෙලාවට එක එක දේවල් තමයි දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් කියන්නෙ.

තමන්ගේ දේශපාලන ගමන් මග පිළිබඳව එල්ල වෙන විවේචනවලට එරෙහිව නිශ්චිතව පිළිතුරු නොදී මේ යන ගමන පැහැදිලියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක යන ගමනකට තමයි මේ සූදානම් වෙන්නෙ. ඉන්දියානු මැදිහත්වීම්වලට එකඟ වෙමින් යන ගමනකට තමයි මේ සූදානම් වෙන්නේ. ඒක නිසා අපි කියනවා සමගි ජන බලවේගය විසින් මාලිමාව සමාජවාදී ක්‍රමයකට යන බවට කරන ඡෝදනා පුස්සක් විතරයි. මොකද සජිත්, රනිල්, මහින්ද වගේම ජනතා විමුක්ති පෙරමුණත් මේ කොල්ලකාරී ධනේශ්වර ආර්ථික ක්‍රමයම පවත්වාගෙන යන්න තමයි බලය ඉල්ලන්නේ ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *