සැබෑ වෙනසක් ඉල්ලමින් පැවති ශ්‍රි ලංකාවේ පැවති ජන අරගලයට වසර දෙකක කාලයක් ගත වුවද එම සැබෑ වෙනස ලබා දීමට පාලකයින් අසමත් වී ඇති බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පවසනවා.

ඒ ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිය අමතමින්.

වංචා හා දූෂණ අවසන් කිරීමටත් බලය අනිසි ලෙස භාවිත කිරීම නැවැත්වීමටත් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ ඉල්ලූ ශ්‍රි ලාංකිකයින්ට සැබෑ වෙනසක් ලැබී නොමැති බවද ඒ මහතා පැවසුවා.

එමෙන්ම 2021 වසරේ සිට 2023 වසර දක්වා කාළය තුළ ශ්‍රි ලංකාවේ දුප්පත්කම දෙගුණ වී ඇති බවද ප්‍රකාශ කළ ඒ මහත පැවසුවේ ආහාර සහ සෞඛ්‍ය අතරින් එකක් තෝරාගැනීමටත් අධ්‍යාපනය සහ බලශක්තිය අතරින් එකක් තෝරාගැනීමටත් තරමට ශ්‍රි ලාංකිකයින් අසරණව ඇති බවයි.

2019 වසරේදි සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයද සිදු කොට ඇත්තේ සීමා සහිත ප්‍රගතියකින් බවත් ප්‍රහාරය වැලැක්වීමට අසමත්වූ බවට චෝදනා ලබා සිටින් පුද්ගලයින් දිගින් දිගටම ඉහළ තනතුරු ලබාගනිමින් සිටින බවද එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පැවසුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *