බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුසහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50 අතර තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 60 – 65ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකියි.

මේ පිළිබඳ අවධානය යොමුකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *