ශ්‍රි ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම උදෙසා පවත්වනු ලබන ඡන්ද විමසීම එළඹෙන 21 වනදා පැවැත්විමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 39 දෙනකුගේ නාමයෝජනා මැතිවරණ කොමිසම විසින් භාරගෙන තිබෙනවා.

ඒ අනුව ලියාපදිංචි දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයින් 22ක් ද, ලියාපදිංචි නොවූ පක්‍ෂයකින් එක් අපේක්‍ෂකයෙක් ද ඇතුළුව ස්වාධීන අපේක්‍ෂකයෝ 17ක් ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

ඒ අතර කිසිඳු කාන්තා නියෝජනයක් නොවේ.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වනවා.

ඔහුට හිමි ඡන්ද ලකුණ ගෑස් සිලින්ඩරයයි.

සමගි ජනබලවේගය නියෝජනය කරමින් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දුරකථනය ලකුණින් මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබනවා.

ජාතික ජන බලවේගය පක්‍ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහත මාලිමාව ලකුණින් තරඟ කරනු ලබනවා.

සරත් ෆොන්සේකා මහතා මෙවර ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වනු ලබන අතර ඔහුට හිමි ලකුණ ලන්තෑරුමයි.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්‍ෂය යටතේ විජයදාස රාජපක්‍ෂ මහතා මෝටර් රථය ලකුණින් මෙවර ජනපති සටනට එක්වනවා.

මේ අතර නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් තරග කරනු ලබනවා.

ලියාපදිංචි දේශපාලන පක්‍ෂවලින් තරග කරන සෙසු අපේක්‍ෂකයන් ලෙස ශ්‍රී ලංකා කම්කරු පක්‍ෂයෙන් ඒ. එස්. පී. ලියනගේ මහතා ද, අභිනව නිවහල් පෙරමුණින් ඕෂල හේරත් මහතා ද, ජාතික සංවර්ධන පෙරමුණින් පී. ඩබ්ලිව්. එස්. කේ. බණ්ඩාරනායක මහතා ද, එක්සත් සමාජවාදී පක්‍ෂයෙන් සිරිතුංග ජයසූරිය මහතා ද, නව සිහළ උරුමය පක්‍ෂයෙන් සරත් මනමේන්ද්‍ර මහතා ද, ජනසෙත පෙරමුණ පක්‍ෂයෙන් බත්තරමුල්ල සීලරතන හිමියන්ද, අරුණළු ජනතා පෙරමුණ පක්‍ෂයෙන් කේ. ආර්. ක්‍රිෂාන් මහතා ද, සමාජවාදී සමානතා පක්‍ෂයෙන් පාති විජේසිරිවර්ධන මහතා ද,නව සමසමාජ පක්‍ෂයෙන් ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ මහතා ද, අපේ ජනබල පක්‍ෂයෙන් ජේ. ඩී. කේ. වික්‍රමරත්න මහතා ද, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂයෙන් මහින්ද දේවගේ මහතා ද, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණින් අනෝජ් ද සිල්වා මහතා ද, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් අබුබකර් මොහොමඩ් ඉන්ෆාස් මහතා ද, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයෙන් දිලිත් ජයවීර මහතා ද, සමාජවාදී ජනතා සංසදයෙන් නුවන් බෝපගේ මහතා ද, එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් ජනක ප්‍රියන්ත රත්නායක මහතා ද, එක්සත් ජාතික නිදහස් පෙරමුණින් ලලිත් ද සිල්වා මහතා ද, මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ කරනු ලබනවා.

මේ අතර ස්වාධීන අපේක්‍ෂකයන් ලෙස සරත් කීර්තිරත්න පාපන්දුව ලකුණින් ද, කේ. කේ. පියදාස මහතා කැල්කියුලේටරය ලකුණින් ද, අජන්ත ද සොයිසා මහතා අන්නාසි ගෙඩිය ලකුණින් ද, කේ. ආනන්ද කුලරත්න මහතා පදක්කම ලකුණින් ද, අක්මීමන දයාරත්න හිමි කළුලෑල්ල ලකුණින් ද ,සිරිපාල අමරසිංහ මහතා ටයරය ලකුණින් ද, වික්ටර් ඇන්ටනි පෙරේරා මහතා මෝටර් බයිසිකලය ලකුණින් ද, ප්‍රේමසිරි මානගේ මහතා කණ්ණාඩි කුට්ටම ලකුණින් ද, සිඩ්නි ජයරත්න මහතා කොස්ගෙඩිය ලකුණින් ද ,ඩී. එම්. බණ්ඩාරනායක මහතා මේස පංකාව ලකුණින් ද, එම්. තිලකරාජා මහතා කුරුලු පිහාටුව ලකුණින් ද, රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් පිත්ත ලකුණින් ද ,සෙල්වම් අරියනේත්තිරන් මහතා හක්ගෙඩිය ලකුණින් සහ අනුරුද්ධ පොල්ගම්පල මහතා අශ්ව ලාඩම ලකුණින් තරඟ කරනු ලබනවා.

මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් තරග කරන්නේ එළැඹෙන 21 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහායි.

මේ අතර 2019 වසරේ ජනාධිපතිවරණය සඳහාද අපේක්‍ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වුණා.

ජනාධිපතිවරණය සඳහා තරග කරන එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් කෝටි 20ක් වැය වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයන් 39 දෙනා සඳහා රුපියල් කෝටි 780ක් වැය කිරීමට සිදුවනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *