ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඊයේ එම තනතුරින් ඉල්ලා අස් වුනා.

අල්ලස් හා දූෂණ මැඩලීම සඳහා අවශ්‍ය උපදේශන සේවා ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය හෙවත් ජයිකා ආයතනය මගින් 2023 වසරේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පරිත්‍යාග කළ රුපියල් මිලියන 24ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩකර ඇති බවට විශේෂ පංච පුද්ගල කමිටුව මගින් ඒකමතිකව නිර්දේශ කෙරුණා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලැබුණු මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, උප සභාපති නලින් ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ද අල්විස් සහ නීතිඥ රශ්මිණි ඉන්දතිස්ස සමන්විත කණ්ඩායමට පවරා තිබුණා.

එහෙත් ඒ සම්බන්ධයෙන් විවිධ අක්‍රමිකතා සිදු වී ඇති බවට විවිධ පාර්ශ්වයන් චෝදනා කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මාස දෙකක් තුළ විමර්ශනයක් පවත්වා නීතිඥ සංගමයට වාර්තා කරන ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මගින් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාගේ සභාපතිත්වයෙන් සහ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරුන් වන ආචාර්ය කේ. කනගඊෂ්වරන්, රියෙන්සි අර්සකුලරත්න, ඉක්රම් මොහොමඩ් හා ජෙෆ්රි අලගරත්නම් යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුත් කමිටුවක් පත් කළා.

ඒ අනුව පසුගිය 30 වැනිදා එම කමිටු වාර්තාව එළි දැක්වු අතර එම වාර්තාවට අනුව නීතිඥ සංගමයේ සභාපතිවරයා විශ්වාසය කඩකර ඇති බවට අනාවරණ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා වහාම එම තනතුරින් වහාම ඉල්ලා අස්විය යුතු බවට නීතිඥ සංගමයේ විශේෂ සභාව ඒකමතිකව තීරණය කර කළා.

ඒ මහතා 2024 – 2025 වසර සඳහායි ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ සභාපතීත්වයට තේරි පත්වුණේ.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *