ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස, සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධාන රැලි මෙලෙස පැවැත්වෙනවා.

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් රැලිය කොස්ගස් හංදිය ප්‍රදේශයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අවසන් රැලිය ද ටවර් හෝල් ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

මේ අතර සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ අවසන් රැලිය කොට්ටාව නගරයේදීත්, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීද පැවැත්වැත්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අවසන් ජන රැලිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර තිබෙන්නේ.

මේ අතර ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රැලි පැවැත්වෙන අද දිනයේදී කොළඹ නගරය, නුගේගොඩ, කොට්ටාව හා පිළියන්දල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවද පොලිස් මූලස්ථානය පැවසුවා.

අවසන් ප්‍රචාරක රැලි සඳහා විශේෂ ආරක්ෂාවක් සැපයීමට ද පොලීසිය සහ ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *