අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිළිබඳ ව මතු ව ඇති ගැටලු‍ව සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ පවත්වනු ලබන බවයි.

එම පරීක්ෂණ අවසන් වූ වහාම මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණා.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේ ද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව පසුගිය 17 තීරණය කළා.

නමුත් ඒ පිළිබඳව විරෝදය දක්වමින් දෙමාපියන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටපැමිණ විරෝධතාවයේ නිරතවූ අතර එහිදී උද්ගත වූ නොසන්සුන් තත්ත්වය පාලනයට කැරලි මර්දන ඒකකය කැඳවීමටත් බලධාරීන් පියවර ගත්තා.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ නැවතත් 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට අවශ්‍යවුවහොත් එය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මේ අතර මෙම ගැටලුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ශිෂ්‍යත්වය සඳහා පෙනීසිටි සිසුන්ගේ මව්පියන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *