විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා පිළිබඳව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ එළඹෙන 2038 වර්ෂය දක්වා රටේ ජනතාවගේ ජීවිතය ගැන බරපතළ තීන්දුවක් රජය විසින් සැහැල්ලුවෙන් ගෙන ඇති බවයි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ , ” මුදල් අමාත්‍යාංශය 2024 – 6 – 30 දක්වා නිකුත් කළ වාර්තාව අනුව ජුලි මාසය වෙද්දි ලංකාවේ බහු පාර්ශවීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12.193යි. ද්වීපාර්ශවීය ණය ඩොලර් බිලියන 10.625යි. වාණිජ ණය ඩොලර් බිලියන 14.734යි. මේ වාණිජ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 12.5ක් තියෙන්නෙ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය. මේ දත්තවල තියෙන්නෙ මේ වෙද්දි ගෙවන්න නියමිත පොලිය හැර ණය ප්‍රමාණය විතරයි. අපි දන්නවා දේශීය ණය සහා ණය පොළියත් එකතු වුණාම ලංකාව රටක් විදිහට ඩොලර් බිලියන 100.6ක පමණ ණය බරක් සහිත රටක්. දැන් මේ අවුරුද්දේ ජුලි 3 ඇඝ්ඹ්H කමිටුව එක්ක ලංකාවේ ආණ්ඩුව එකඟතාවයකට ආවා. 2025 – 2027 වසර තුනක කාලය ඇතුලේ අපේ රටේ දළ දේශීය නිශ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 96ක් වෙනවනං 8.2%ක පොළියක් ගෙවන්නං කියලා තමයි මේගොල්ලො එකඟ වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි 5%, 6%, 7% වගේ පොළී අගයන්ට ගත්ත ණය වලට තමයි මේ 8.2%ක පොළියක් ගෙවන්න සූදානම් වෙන්නෙ. අපි ගත්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයවලින් ඩොලර් බිලියන 16.4ක් 2030 වෙද්දී ගෙවන්න නියමිත වෙලා තිබුණා. හැබැයි දැන් 2038 වෙද්දි ඩොලර් බිලියන 19.1ක් අපිට ගෙවන්න වෙනවා. එතකොට ඩොලර් බිලියන 2.7ක් වැඩිපුර ගෙවන්න තමයි එකඟ වුනේ. මෙතන තියෙන්නෙ පුදුම විහිළුවක්.අපි සාමාන්‍යයෙන් ගමේ කඩේ මුදළාලි එක්ක කතාකරන්නෙත් අපිට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය පුලුවන් තරම් අඩු කරගන්න ක්‍රමයක්. හැබැයි මේගොල්ලො වැඩිපුර ප්‍රමාණයක් ගෙවන්න එකඟ වෙලා. මේ සාකච්ඡාවට ලංකාවේ ආණ්ඩුව වෙනුවෙන් මැදිහත් වුන ක්ලිෆඩ් සහ ලසාඩ් කියන සමාගම් දෙකට සේවා ගාස්තු විදිහට ඩොලර් මිලියන 11.5ක් සේවා ගාස්තුවක් ගෙවලා. මේ ගිවිසුමට එකඟ වෙච්ච සියලු දෙනා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධකරුවන් විදිහට අධිකරණයට ගෙනියන්න ඕන. දැන් ආණ්ඩුව ඊයෙ ගිවිසුමකට ආවා කියලා නිකුත් කරපු ගිවිසුම බැලුවට පස්සෙ පේනවා ජුලි 3 ගිවිසුමයි මේකයි අතරෙ කිසිම වෙනසක් නෑ. ඊයෙ රෑ ප්‍රවෘත්ති වල කිව්වෙ ලංකාවේ ණය ප්‍රමාණයෙන් 40.3% ක් ප්‍රතිව්‍යුහගතකරණය වෙලා ඩොලර් බිලියන 3කට වැඩි ඉතිරියක් වුනා කියලා. මේක සම්පූර්ණ අසත්‍ය තොරතුරක්. මෙතන ඇත්තටම වෙලා තියන දේ තමයි ලංකාවේ විදෙස් ණය ප්‍රමාණයෙන් 40%ක් සඳහා අලුතෙන් ප්ලෑන් එකක් ඉදිරිපත් කරල තියනවා. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ඩොලර් බිලියන 9.5ක්, චීන සංවර්ධනය බැංකුවේ ණය ඩොලර් බිලියන 2.5ක්, චීන එක්සින් බැංකුවේ ණය 2.4ක්, OCC කමිටුවේ ණය 2.9ක් විදිහට ඩොලර් බිලියන 17.3ක මුදළක් සඳහා තමයි මේ එකඟතාවයට ඇවිල්ලා තියෙන්නෙ. හැබැයි මේ ගිවිසුමෙන් රටේ ජනතාවට කිසිම සහනයක් ලැබෙන්නෙ නෑ. 12 වෙනිදා ඉදලා 18 වෙනකල් බරපතළ විදිහට මේකට සාකච්ඡා කරාලු. හැබැයි සාකච්ඡා කරල තියෙන්නෙ අර කලින් විනාශකාරී සාකච්ඡාවට මැදිහත් වෙච්ච ලසාඩ් වගේ සමාගම්. කලින් එකඟතාවයේදී 8.2% පොලියක් ගෙවන්න අපිට නියම වෙලා තිබුණා. අලුත් ගිවිසුමෙන් ඒ ප්‍රමාණය 7.5 දක්වා යම් අඩු කිරීමක් වෙලා තියනවා. හැබැයි මේ අඩුකිරීම අදාල වෙන්නේ 2032 දක්වා විතරයි. එතනින් එහාට අපි 8%, 9% දක්වා ගිණි පොලී ගෙවන්න ඕන. දැන් මේගොල්ලො දළ දේශීය නිශ්පාදනය සම්බන්ධ එකඟතාවය යම් වෙනසක් කරගෙන. මුලින් තිබුණ එකඟතාවය තිබුණෙ ද.දෙ.නි ඩොලර් බිලියන 93 – 100 අතර. දැන් ඒ මට්ටම ඩොලර් බිලියන 94 – 107 දක්වා වෙනස් කරලා. හැබැයි අපි දන්නවා මුදලේ මුහුර්ත අගය වැඩි නොවී දළ දේශීය නිශ්පාදිතයේ මූල්‍ය අගය විතරක් වැඩි වුනාට වැඩක් නෑ. මොකද දැන් ජනතාවගෙන් බහුතරයක් ඉන්නේ ජිවනෝපායන් අහිමි වෙච්ච සමාජයක. මේගොල්ලන්ට ඕන නම් පුලුවන් ඉලක්කම් විජ්ජාවක් දාලා මේ ප්‍රමාණය පෙන්න. එහෙම වුනොත් අපිට ගිණි පොලියක් ගෙවන්න වෙනවා. මෙතන තියන අනිත් භයානකම කාරණය තමයි මේ එකඟ වෙච්ච අගයට වඩා වාර්ෂික නිශ්පාදනයක් අපි කළොත් අපිට අධික පොලියක් එක්ක ණය ගෙවන්න වෙනවා. එතකොට මේ අපිව හිර කරන්න යන්නෙ උගුලක. අපේ නිශ්පාදනය පවා වැඩිකරගන්න බැරි තත්වයට තමයි ගේන්න උත්සහ කරන්නෙ. දැන් මේ ගිවිසුමේ ලෝකල් ඔෆ්ශන් කියලා වගුවක් තමයි අන්තිම පිටුවෙ තියෙන්නෙ. ජාත්‍යන්තර කියන නම ඇලෙව්වට සමහර බැඳුම්කර නිකුත් කරල තියෙන්නෙ ඇත්තටම ලංකාවේ මූල්‍ය සමාගම්. දැන් මේ ගිවිසුමේ තියෙන්නෙ ඒ ලංකාවේ මූල්‍ය සමාගම් කැමති නම් ඒගොල්ලො එක්ක රුපියල් වලින් ණය ගෙවන්න පුලුවන් කියලා. හැබැයි ප්‍රශ්නෙ තමයි ජාත්‍යන්තර වශයෙන් අපිට ණය කප්පාදුවක් ලැබුනොත් ඒක දේශීය ජාවාරම්කාර බූවල්ලන්ට අදාළ වෙන්නෙ නෑ. ගිණි පොළියත් එක්ක අපි සම්පූර්ණ ණය ප්‍රමාණය ගෙවන්න ඕන. දැන් එතකොට මේ හොරපාරෙන් ගජ මිතුරන් සැනසීම තමයි කරල තියෙන්නෙ. ගිය වතාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියල කලෙත් මේක. ETF , EPF වගේ අරමුදල් වලින් ගත්ත ණයවලට ගෙවන පොළිය 9%ට අඩු කරලා ධන කුවේරයන්ට 28%, 33% වගේ ලොකු පොලියක් ගෙවන්න එකඟ වුනා. අනිත් කාරණය තමයි අපි මෙතෙක් ණය ගිවිසුම් සඳහා එළඹුමේ ඇමරිකා එක්සත් ජනපද නීතියට අනුකූලව. දැන් කියනවා ණය හිමියන්ගෙන් 20%ක් එකඟ වෙනවනං ඒ නීතිය බ්‍රිතාන්‍ය නීතියට මාරු කරගන්න පුලුවන් කියලා. මෙතන තියන භයානක කාරණය තමයි අසාධාරණ ණය, විලෝපික ණය, අවධානම් ණය නොගෙවා සිටීමේ නෛතික ප්‍රතිපාදන තියෙන්නෙ ඇමරිකානු නීතියේ. බ්‍රිතාන්‍යය නීතියේ ඒ පහසුකම නෑ. දැන් එතකොට අපිට ණය කප්පාදුවකට යන්න තියන අවස්ථාව පවා අහිමි කරගන්න තමයි මේ යන්නෙ. දැන් මේගොල්ලො කරන්නෙ අර රොබට් නොක්ස් ලියපු එදා හෙලදිව පොතේ තිබුණ කතාවෙම අලුත් එක. ණය වෙච්ච පුද්ගලයගෙ කරේ ගල් පටවන ක්‍රමය වෙනුවට අපිව ඇතුන් ලවා පාගවන නීතියකට තමයි මේ තක්කඩි රැළ එකඟ වෙලා තියෙන්නෙ. අනිත් කාරණය තමයි IMF එක පවා මේකට අවසන් එකඟතාවයක් තාම දීලත් නෑ. එහෙම තියෙද්දි ඇයි රනිල් මේක අවසන් එකඟතාවය කියන්නෙ.? මෙතන තියෙන්නෙ බරපතළ උගුලක්. ඡන්දයට දවසක් තියලා IMF ඇතුළු සමාගම් ලංකාවේ ආණ්ඩුව ලොකු සෙල්ලමක් නටන්න මේ ලෑස්ති වෙන්නෙ. එකක් තමයි රටේ මිනිස්සු මුළා කරන උපායක් මෙතන තියනවා. දෙවෙනි එක තමයි ඉදිරියේදී පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ජනතාවට කියන්න පුලුවන් කලින් හිටපු ජනාධිපති මේක අත්සන් කරල ගිහිං තියෙන්නෙ ඒක නිසා අපිට දැන් ඒක වෙනස් කරන්න බෑ කියලා. ඒකට ඕන වටපිටාව තමයි මේ හදාගන්න යන්නෙ. අපිට ජනතාවට කියන්න තියෙන්නෙ මේ ඔබේ අනාගතය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක්. මේ එකඟ වෙන සියලු අසාධාරණ ණය ගෙවීම් අන්තිම දශමෙට වෙනකල් ගෙවන්න වෙන්නෙ ඔබට. ඒක නිසා මේ ලොකු ආර්ථික කතා අනේ අපිට තේරෙන්නෑ කියලා බලාගෙන ඉන්න එපා. වහාම මේ ගිවිසුම් පරාජය කරන්න මැදිහත් වෙමු. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *