උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එම මාර්ගයේ මහව සහ අනුරාධපුරය අතර කොටස නවීකරණය කිරීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබුණා.

නමුත් ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ට සහ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළා.

පසුගිය 19,20,21 සහ 22 යන දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට පියවර ගැනුණා.

කෙසේ නමුත් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව එම මාර්ගයේ සංඥා පද්ධතිය ද නවීකරණය සඳහා සැලසුම් සකස්කළ ද ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අනුමත නොවීම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ගමනගමන කටයුතු සාමන්‍ය පරිදි ක්‍රියාත්මක ක්‍රීමට නොහැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය හරස් මාර්ග 47ක් පවතින අතර ප්‍රධාන මාර්ග හරහා පිහිටි දුම්රිය හරස් මාර්ග 15ක් සහ ඉන් 09ක් රථවාහන බහුලව ගමන් ගන්නා ප්‍රධානතම මාර්ග හරහා ගමන් කරයි.

ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කළහොත් ප්‍රධාන මාර්ග හරහා වැටී ඇති දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාකරවීම සඳහා කම්කරුවන් යුතු බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අනෙකුත් දුම්රිය හරස් මාර්ග සඳහා අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමට අවශ්‍ය බවද සඳහන්.

මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළ ද දෛනිකව මහව සහ අනුරාධපුරය අතර සිදුකෙරෙන දුම්රිය ගමන්වාර 22කම එපරිද්දෙන්ම ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් සංඥා පද්ධතිය නවීකරණය සමග යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තවත් මාස 04කට අධික කාලයක් ගත වනු ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *