භෞතික සම්පත් සමගම මානව සම්පත ද සම්පූර්ණ කරමින් පාසල් පද්ධතිය සංවර්ධනය කළ යුතු බවත් ඒ අනුව විද්‍යාපීඨ ගුරුවරුන් 7500කට මේ මස 16වැනිදා නව පත්වීම් ලබා දෙන අතරම විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන්ම උපාධිධාරී ගුරුවරුන් 5500ක්, වයස 35 නොයික්මවූ උපාධිධාරීන් අතරින් නුදුරේදී ම බඳවාගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

එහෙත් භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුකභාවය අත්‍යවශ්‍ය වන බවත් කියා සිටියා.

එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයාගේ අදහසයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසි සේත් අනුමත නොකරන බවයි.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමක් අතරතුර දී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *