නඩු විභාගයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී සිරකරුවන් රඳවා සිටින සිර කූඩුවකින් එළියට පැනගත් සැකකරුවෙකු නඩු විභාගයට සහභාගි වෙමින් සිටි තරුණ නීතිඥවරියකට ප්‍රසිද්ධියේ අතවර කිරීමේ සිද්ධියක් ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා වාර්තා විය.

සැකකරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ගලගෙදර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්වූ අපේක්ෂකයෙකු බවද ඔහු ගලගෙදර කලුවාන ප්‍රදේශයේ පදිංචි ලලිත් සමන් කුමාර නමැති 26 හැවිරිදි පුද්ගලයෙකි. මත්ද්‍රව්‍ය චෝදනාවක් ඇතුළු චෝදනා කීපයක් යටතේ ඔහුට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු කීපයකට ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබී ඇත.

විභාගයට ගැනීමට තිබූ නඩුවක සැකකරුවෙකු සිර මැදිරයෙන් එළියට ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේදී සැකකරු ඉන් එළියට පැන තරුණ නීතීඥවරිය බදාගෙන ඇයට අතවර කිරීමට සූදානම්වී ති⁣බේ.

අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගෙන තිබේ. මේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය නවතා අසුනෙන් බැසගොස් තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 වන දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගලගෙදර මහේස්ත්‍රාත්වරයා නියම කර තිබේ.
සැකකරු විසින් කරන ලද බලහත්කාරකම් හේතුවෙන් සුළු තුවාල ලැබූ නීතීඥවරිය ප්‍රතිකාර සඳහා ගලගෙදර දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ඊයේ ඇය රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *