අසාමාන්‍ය ලෙස විදුලි බිල වැඩි කිරීම සාමාන්‍ය ජනතාවට වගේම ලක්ෂ 15 කට වැඩි අඩු ආදායම්ලාභී ජනතාවට එල්ල වූ බලවත් මරු පහරක් බව එක්සත් සංවර්ධන පෙරමුණේ සභාපති රණවක ආරච්චි මහතා පැවැසීය. අවිස්සාවේල්ල පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් ඔහු එසේ කීය.එහිදී වැඩිදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද පැවැසීය.

මේ රටේ ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පැටවීම නෙවෙයි කළ යුත්තේ. අමාරුවෙන් ජීවත් වන ජනතාවට සහන සැලසීමයි කරන්න ඕනෙ.

ජනතාවට සහන ලබාදීලා රාජ්‍ය අංශයෙන් සිදුවන මහා පරිමාණ නාස්තිය, දූෂණය හා හොරකම නැවැත්වීමයි කළ යුත්තේ.

රජයේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවලින් හෙළිකර ඇති මහා පරිමාණ වංචා, දූෂණ වැළැක්වීමට කටයුතු නොකිරීම ආණ්ඩුවේ ඉන්න දූෂිතයන් ආරක්ෂා කිරීමට ගන්නා වෑයමක් ලෙස අපි දකිනවා.

රාජ්‍ය අංශයේ සිටින ඉහළ නිලධාරීන් බහුතරයක් කොමිස් පිපාසයෙන් පෙළෙමින් සමහරක් දේශපාලකයන් සමඟ එක්වී කරන සමහර දූෂණ ක්‍රියා මේ රටට විශාල බරක් වෙලා තියෙනවා.

මේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කර නිසි දඬුවම් ලබාදීමට හැකිවුවහොත් මේ රටේ විශාල මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ රජයේ සමහරක් නිලධාරීන් දිගින් දිගටම රාජ්‍ය ආදායම තමන්ගේ සාක්කුවට දමාගැනීමට තැත්කිරීම නිසා රට අගාධයකට ඇද වැටී තිබෙනවා.

රට ආරක්ෂා කර ගැනීමට රට සංවර්ධනය කරගැනීමට අවශ්‍ය නම් අල්ලසින්, දූෂණයෙන් හෙබි මේ රාජ්‍ය නිලධාරීන්ට ඉතා ඉක්මණින් සුදුසු දඬුවමක් ලබාදිය යුතුයි.

දූශිත නිළධාරීන් බහුලව සිටින බස්නාහිර පළාත් සභාවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දූෂිතයන්ට දඬුවම් දීම ආරම්භ කිරීම වඩා සුදුසු බව සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *