ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල තීන්දු තීරණ වලට පටහැනිව යමින් තම පෞද්ගලික වාසිය සඳහා ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් දරන කණ්ඩායම ජනපති චන්ද්‍රිකා මැතිණිය ද හවුල් කර ගනිමින් ආණ්ඩුවේ ද සහයෝගය මත කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් ඔවුන් ගේ මුඛ්‍ය අරමුණ ජනපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ශ්‍රීලනිප ය එජාප පොහොට්ටු හවුලට හේත්තු කිරීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

හිටපු ජනපති චන්ද්‍රිකා මැතිණිය අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඉවත් කිරීමට උත්සහ කිරීමට උත්සහ කිරීම මෙම කුමන්ත්‍රණ මාලාවේ එක් පියවරක් යැයි ද ඒ මහතා කීය.

මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට් හි දී (09) පැවැති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙසේද කීවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය 15 දෙනෙකු ගෙන් සමන්විතයි. මේ කුමන්ත්‍රණය දියත් කරන කණ්ඩායමේ ඉන්නේ මේ අය අතරින් හතර පස් දෙනයි. ඒකට දේශපාලන මණ්ඩලය කියලා කියනවා නම් ඒක මේ රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන විචාරශීලී සාමාන්‍ය ජනතාවට කරන අපහාසයක් ලෙසයි මම දකින්නෙ.

මධ්‍යම කාරක සභාව පසුගිය වසර දෙක පුරාම තීරණය කළේ පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් දරන අය වහාම ඉවත්විය යුතු බවයි. රජය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට තව දුරටත් ආණ්ඩුවේ ඉන්න එපා කීම නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ. ඔවුන්ට ඕන වුණේ සන්ධානයක් හදනවා කියන මුවාවෙන් නායකත්ව මණ්ඩලය හරහා යෝජනාවක් ගෙනවා ශ්‍රී ලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට සුදුසු නැහැ කියලා ඉවත්කරන්න. මේක ආණ්ඩුව මුල් වී මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක්.

එජාප පොහොට්ටු විරෝදී ආණ්ඩුවක් තැනීමේ ස්වාධීන ගමනක ගමනක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් නියැලෙනවා. ජාතිකවාදී වාමවාදී බලවේගය එකතු කරගෙන අපි මේ ගමන ශක්තිමත්ව යනවා.ශ්‍රීලනිපයේ කිසිදු සාකච්ඡාවකට නොපැමිණි චන්ද්‍රිකා දැන් කියනවා පක්ෂය ගොඩ නගන්න එයාට පුළුවන්ලු. බලයක් නැති ජනපතිවරයෙකුට හා මහජන බලයක් නැති
ආණ්ඩුවකට බලයක් අරන් දෙන්න දියත් වූ කුමන්ත්‍රණයක් මේක. පකෂ කඩලා විනාශ කරමින් මේ අය උත්සහ කරන්නේ තමන් ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පසුබිම සකස් කර ගන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතා මෙසේ පැවසුවේය. ක්‍රිස්තියානි ආගමේ බයිබලය වගේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ අපේ පක්ෂයටත් තියෙනවා ව්‍යවස්ථාවක්. ඒකට අනුව තමයි අපි කටයුතු කරන්නේ. 2018 දී සංශෝධිත ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. මේකට අනුව දේශපාලන මණ්ඩලය රැස්විය යුත්තේ සභාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ ව්‍යවස්ථාවට අනුව කැඳවීමට පුළුවන් පක්ෂ සභාපතිවරයාට යි. වෙන කාටවත් හිතු මනාපෙට දේශපාලන මණ්ඩලය කැඳවන්නත් බැහැ කැඳවලා ගන්න තීන්දු තීරණ වලංගු වෙන්නෙත් නැහැ. අධිකරණය මගින් 19 වැනිදායින් පසු තීන්දුවක් දෙයි. එතෙක් අපි මේ රඟපෑම ඒ අයට කරන්න දීලා බලාගෙන ඉන්නවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඔවුන් ඒකමතිකව තම පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා ප්‍රතිඥාවක් ලබාදෙමින් බව පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *