අද(26) දින උදෑසන පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමිපාදයාණන් වහන්සේ බැහැදැකීම සඳහා ගම්පහ විමුල්ල විද්‍යාකර පිරිවෙනට පැමිණියහ.

එහිදී රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, නියෝජ්‍ය අධිකරණ ලේඛකාධිකාරි හාල්පන්විල පාලිත ස්වාමීපාදයණන් වහන්සේ සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේද බැහැදැක, මියන්මාරයේ රඳවාගෙන සිටින ශ්‍රී ලාංකික තරුණයින් 57 දෙනා ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා කඩිනම් මැදිහත්වීමක් සිදුකරන ලෙසට උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටියහ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ රජය විසින් මීට සති තුනකට පමණ පෙර ප්‍රකාශයට පත් කළ පරිදි රාජතාන්ත්‍රික මැදිහත්වීමක් හරහා තරුණයින් 8 දෙනෙකු බේරාගත් බවට රජය විසින් ප්‍රකාශ කිරීම සාවාද්‍ය බවයි. එහිදි ඔහු මෙලෙස අදහස් පළ කළහ.

“අපි දන්නා පරිදි රජය විසින් බේරාගත්තා යැයි කියන තරුණයින් 8 දෙනා එරට රිබෙල් හමුදාවේ පොලිසියක දැනට රඳවාගෙන සිටිනවා. පසුගිය කාලයේ ඒ රිබෙල් හමුදාව ලුහුබැඳ චීන කණ්ඩායම් විසින් පහරදී තිබෙනවා. එයින් බේරීමට ඔවුන් තමන්ගේ කඳවුරු අතහැර යනකොට දුර්වල කඳවුරක හිටපු අපේ තරුණයින් 8 දෙනෙකු මියන්මාරයේ රිබෙල් හමුදාවට සම්බන්ධිත පොලිසියක අද රඳවාගෙන තිබෙනවා. ඒ ළමයි තවමත් ලංකාවට ගෙනවිත් නැහැ. එසේ තිබියදී බොරුවට රජය පෙන්වනවා රාජතාන්ත්‍රික ආකාරයට මේ අය මුදවාගත්තා කියලා. එම නිසා මෙම කරුණු කාරණා අද අප විසින් විමසා බැලුවා. ඒ අනුව මහානායක ස්වාමීන් වහන්සේටත් මෙම කරුණු සම්බන්ධයෙන් සැල කර සිටියා. අප විසින් සිව් නිකායික මහානායක ස්වාමීපාදයණන් වහන්සේලාගේ අත්සනින් යුතු සංදේශයක් රැගෙන මියන්මාරයට යෑමට අපෙක්ෂා කරනවා. එම සංදේශයට මහනාහිමියන්ගේ අත්සන ලබාගැනීමද අද දින සිදු වුණා. අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමිපාදයාණන් වහන්සේද ඊට අත්සන යොදා අපට ශක්තිය සහයෝගය පළ කරා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *