පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ පෙනී නොසිටි බ්‍රිතාන්‍යයේ අනාගත රැජිණ, වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් වීඩියෝ පටයක් නිකුත් කර විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.

ජනවාරි මාසයේදී ඇයට සිදුකළ සැත්කම අවසානයේදී පරීක්ෂණ මගින් තමන්ට පිළිකාවක් වැළදී ඇති බව සොයාගෙන ඇති බවයි එම වීඩියෝ හඬපටය මගින් ප්‍රකාශ කර ඇත්තේ.

පිළිකාව කුමන ආකාරයේ එකක්ද යන්න තවමත් අණාවරණය වී නැතත් කුමරිය එයින් සම්පූර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බව කෙන්සින්ටන් මාලිගය ප්‍රකාශ කරනවා.

තවදුරටත් ඇයි සිය පණිවිඩය මගින් කියා සිටින්නේ ‘මම හොඳින් සිටින අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් සිටිනවා’ යන්නයි.

ඇයට මේ වන විටත් කීමෝ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති අතර ඇය එම ප්‍රතිකාර වල පළමු අදියරයේ පසුවන බව සඳහන් කර තිබෙනවා.

පිළිකාවට ගොදුරු වී ඇති සියළු දෙනා ගැනම ඇයට සිහිපත් වන බවත්, කිසිවෙකුටවත් පිළිකාව හේතුවෙන් සිය බලාපොරොත්තු අතහැර නොගන්නා ලෙසත් ඇය දැනුම් දෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේ කේට් කුමරිය පොදු කටයුතු වලින් හා මාධ්‍යයෙන් ඈත්ව සිටීම නිසාත් මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් කෙන්සින්ටන් මාලිගය නිකුත් කළ ඡායාරූපය සංස්කරණය කළ එකක් බව හෙළිවීම නිසාත් පසුගිය දිනවල වේල්ස් කුමරිය පිළිබඳව විවිධාකාර පුවත් පැතිර ගිය බව දක්නට ලැබුණා.

එම පුවත්වලට ප්‍රතිචාරයක් වශයෙන් ඇය විසින් මෙම වීඩියෝ පටය ඊයේ(22) නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *