එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබිණි.

ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණි.

ඔහුගේ පුද්ගලික වත්තේ කිසියම් කටයුත්තක නිරත වෙමින් සිටියදී විදුලිසැර වැදීමකින් මෙම මරණය සිදුවී ඇති බවද වාර්තා වෙයි.

මේ වනවිට ඒ මහතාගේ දේහය කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු වන අරුන් තෙවරප්පෙරුම සිද්ධිය පැහැදිලි කළේ මෙලෙසිනි,

“ඔහුගේ පුද්ගලික වත්තේ පොහොර දමමින් වැඩ කර කර හිටියේ. ඒ වත්තේ ආලෝකය සඳහා තැනින් තැනට විදුලිය ලබාගෙන තිබෙනවා. නොදැනුවත්වම බිම තිබුණු එකක් පෑගිලා විදුලි සැර වැදිලා වැටිලා තිබෙනවා. එතන හිටපු සේවකයෝ ඔහුව රෝහලට රැගෙන ගිහින් තිබුණා. දුරත් එක්ක රෝහලට ගේන්න විනාඩි 40ක් විතර ගියා.”

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

1960 වසරේදී උපත ලැබූ පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා ශ්‍රී ලාංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු පෙරළිකාර චරිතයකි.

2002 වසරේදී මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වූ පාලිත තෙවරප්පෙරුම මහතා බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද කටයුතු කළේය.

2010 වසරේ සිට 2020 වසර දක්වා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු ස්වදේශ කටයුතු, වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ක්‍රියා කළේය.

පාලිත තෙවරප්පෙරුම මහතා සිය සුසානය ජීවතුන් අතර සිටියදීම නිර්මාණය කර තිබීමත් රට තුළ කතාබහට ලක්වුණු තවත් මාතෘකාවක් වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *