මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් සිදු කර තිබෙන බවට පුවතක් වාර්තා වනවා.

මෙම කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේදී ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට මන්ත්‍රීවරු පිරිසක් බලාපොරොත්තු වෙන් සිටින බවද සඳහන් වනවා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න ඉල්ලීම් කතා කරනු ලබන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවද මාස ගණනාවකින්ම රැස්වී නැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

දේශපාලන කටයුතු කිරීමට වාහනයක් නොමැතිවීම ලොකු ගැටළුවක් බව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී තිබෙන අතර පාර්ලිමේන්තුවේ එකම වාහනයක් හෝ නැති නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම සිටින බවද මෙහිදී මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබෙනවා.

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා වාහනයක් මිලදී ගැනීමට හැකි තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලැබි තිබුණද රටේ පවතින ආර්ථික තත්වය මත එම වාහන බලපත්‍රය නිකුත් කිරීම මීට වසර නවයකට පමණ පෙර සිට නතර කරනු ලැබුවා.

අවසන් වරට බලපත්‍රය නිකුත්කර ඇත්තේ 2015 වර්ෂයේදී.

මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ විශාල මුදලක් වැයකරමින් බවත්, බොහෝ අය මෙම වියදම් වූ මුදල ආවරණය කර ගත්තේ මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ලැබෙන වාහන බලපත්‍රයෙන් බවත් සඳහන්.

තවද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරග නොවැදීමට තීරණය කර තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *